මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු රෝගියකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ අද දහවල් එහි නොසන්සුන් තත්වයක් හටගත්තේය.

එම රෝගියා රෝහලට ඇතුළත් කර ඇත්තේ පෞද්ගලික රෝහලක සිට වන අතර ඔහුට කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි එම රෝහලෙන් මීගමුව මහ රෝහලට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් එම රෝගියා තමන්ට හෘදරෝගී තත්ත්වයක් ඇති බව පැවසීම නිසා ඔහුව ඇතුළත් කර ඇත්තේ සාමාන්‍ය වාට්ටුවකටයි.

එහිදී සිදුකළ පරීක්ෂණ වලදී ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.

එම සිදුවීමත් සමග රෝහලේ කාර්යය මණ්ඩලය නොසන්සුන් වී ඇති අතර ඒ අනුව මීගමුව මහ රෝහලට රෝගීන් ඇතුල් කර ගැනීම සහ ඉන් පිටවීම තාවකාලිව අත්හිටුවීමට රෝහල් පරිපාලනය තීරණය කළේය.

මේ අතර කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ අතර රෝගීන් 15ක් හා කාර්ය මණ්ඩලයේ 20 ක් ද නිරෝධායනයට ලක් කර තිබේ