‍මරණ දඩුවම නියමව සිටි හිටපු යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක  හට නිදහස හිමි විය.

ඒ අනුව ඔහු සිය නිවෙස වෙත ගොස් ඇති බව වාර්තා වේ. 

2000 වසරේ දෙසැම්බර් මස 19 වනදා යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයින් 08 දෙනෙකු ඝාතනය කළබවට චෝදනා කරමින් සැරයන් සුනිල් රත්නායක ඇතුළු හමුදා සාමාජිකයින් 05 දෙනෙකුට  එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. 

කෙසේ වෙතත් ඉන් සිව් දෙනෙකු ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කෙරුණු අතර නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ සැරයන් සුනිල් රත්නායක හට මරණ දඩුවම නියම වුණි. 

කෙසේ වෙතත් එම හමුදා සැරයන්වරයාට මරණ  දඩුවම නියමවිම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතබහක් නිර්මාණය වී තිබුණි.