කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය සම්බන්ධ අවධානය අඩුවී තිබේ. ඒ නිසා රටපුරා ඩෙංගු රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.

2020 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 17000 කට අධික පිරිසක් වාර්තා වී ඇත. මෙතෙක් කරන ලද කීට වද්‍යා සමීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ වැසි සහිත කාලගුණය පවතින ප්‍රදේශවල මදුරු ඝනත්වය වැඩිවී ඇති බවයි.

එහෙත් කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් කීට විද්‍යා සමීක්ෂණ කාර්යයන් නතර කර ඇති බව රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කඩින් කඩ වැසි ඇතිවීම හා මැයි මාසයේ වැසි සහිත කාලගුණය හේතුවෙන් ඉතා වේගයෙන් ඩෙංගු පැතිරෙන බැවින් දැඩි අවධානය යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. නිවෙස් අවට ඇති ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වනාශ කරන ලෙසත්, වැසි ජලය පිරෙන භාජන ඉවත් කරන ලෙසත් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටියි.