කොවිඩ්-19 රටපුරා ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන හෙට (23 වැනිදා) දක්වා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එදිනෙදා කුලී වැඩවලින් ජීවිතය ගෙවාගන්නා පවුල් ලක්ෂ පනහක් පමණ දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව ඇත. තනි පුද්ගලයන් ලෙසත්, ස්වයං රැකියාවල නිරත වන සහ දෛනික වැටුපට සේවය කරනු ලබන පුද්ගලයන්ගෙන් යැපෙන පවුල් මෙසේ දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.

කොරෝනා වෛරසය නිසා මෙම පුද්ගලයන්ට දෛනික රැකියා ලබා නොදීමත්, සියලුම ස්වයං රැකියා අඩපණ වීමෙනුත් මෙම තත්ත්වය උදාවී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් දෛනිකව සිය නිවෙස්වලට අවශ්‍ය ආහාරපාන ලබාගැනීමේ දුෂ්කරතාවට ඔවුන් පත්ව ඇත.

මින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙත්, උඩරට ප්‍රදේශවලත් ජීවත් වන බව වාර්තා වේ.