කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීම වැළැක්වීම සදහා පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ දැවැන්ත මුල්‍ය අර්බුදයකට ඇද වැටීමේ අවදානමකට ද මේ වන විට ලංකාව පත්ව ඇති බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයකින් තොරව කල් දමා ඇති අවස්ථාවක ලබන අප්‍රේල් මස 30 වන දිනෙන් පසු රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් රජයේ සේවක වැටුප් ගෙවීමේ සිට කොරෝනා වෛරසයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම දක්වා ගැටලුකාරී වන බව ඔහු පවසන්නේය.

මෙම තත්ත්වය මත පක්ෂ නායක රැස්වීමක් කැඳවන මෙන් ඉල්ලාසිටිය ද රජයෙන් ඊට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සදහන්.