එක්සත් ජාතික පක්ෂය සමගි කරවීම සඳහා ගත් උත්සාහයන් ඵල රහිතවීම නිසා මහ මැතිවරණයේදී කිසිදු පාර්ශ්වයකින් තරග කිරීමට හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවීමට තීරණය කළ බව හිටපු කථානායක කරු ජයසූරිය පවසයි.

හිටපු කථානායකවරයා ඊයේ (19 වැනිදා) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

ඉදිරි මහ මැතිවරණය සඳහා වන ඒ ඒ පක්ෂවල නාම යෝජනා එළිදක්වා ඇති මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය මගින් තරග කිරීමට හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස මාගේ නම ඇතුළත් කිරීමට කටයුතු කර නොමැති වීම පිළිබඳව ​ගෞරවනීය ආගමික නායකයන් මාධ්‍යවේදීන් හා වෙනත් අය විමසිලිවත්ව තිබේ.

ඉහත දෙපාර්ශ්වය එකම තැනකට ගෙනැවිත් එක්සත් ජාතික පක්ෂය සමගි කරවීම සඳහා මා විසින් මහත් වෙහෙසක් දරමින් දිගින් දිගටම උත්සාහ කළෙමි. මාගේ දේශපාලන දිවිය කැපකර දරන ලද එම ප්‍රයත්නයේදී දෙපාර්ශ්වය සමගි නොවුවහොත් කිසිදු පාර්ශ්වයකට සහාය නොදෙන බව මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෙමි.

නමුත් එම සියලු උත්සාහයන් මේ මොහොත වන විට ඵල රහිත වී තිබීම ඉමහත් සිත් වේදනාවට හේතුවකි. මෙම තත්ත්වය තුළ කිසිදු පාර්ශ්වයකින් තරග කිරීමට හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවීමට මා තීරණය කළෙමි.