ශ්‍රී ලංකාව මේ වන විට පවතිනුයේ අවධානම් සහගත තත්වයක බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ලොව අන් රටවල නොවූ විරූ තරම් මුල් සතිය වන විට රෝගීන් 28 දෙනෙකු ම මේ ලිපිය ලියන මොහොත වන විට හමු වී හමාරය.

දෙවෙනි සතිය වන විට මේ ප්‍රමාණය මෙතෙකැයි හරියටම කිව නොහැක.

ලෝකයේ සෙසු රටවල වාර්තා හා ගත් කල එම ප්‍රමාණය දෙගුණ,තෙගුණ වේ නම් අප සෑහීමකට පත් විය යුතුය.එහෙත් එය එසේ නොවන බව සක් සුදක් සේ මේ යන කල කිව හැකිය.මන්ද එය වැඩි වන්නේ 300%-650% ත් අතර ප්‍රමාණයකින්ය .

එය සංඛ්‍යාත්මකව කොපමණක්ද යන්න ගණනය කිරීම පවා හිතට වේදනාවක් ගෙන දෙන කරුණකි.මන්ද මේ ගොදුරු වන්නේ ඔබ අපගේම නෑදෑයින්‍ ය.ඇතැම් විට මේ ලිපිය කියවන ඔබ හෝ මෙය ලියන මාද ඒ අතර සිටිනවා වන්නට පුලුවන.

මේ වෙලාවේදී රටේ බහුතරය ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින දෙයක් තිබේ.ඔබතුමා අන් දේශපාලකයින් මෙන් සාම්ප්‍රදායික දේශපාලකයෙකු නොවේ. එබැවින් නාම යෝජනා දීමට ඇති නිසා රටට නිවාඩු නොදී, මුලු රටම අවධානමකට ලක් කිරීමේ මහා පාපකර්මයට ඔබතුමා අත ගසන්නේ නැති බව අපට තවමත් විශ්වාසය.

අපට පාර්ලිමේන්තුවේ 225 වැඩක්ම නැත.මන්ද ඔවුන්ගේ හැසිරීම මීට පෙර සිටම අප හොඳටම නිරීක්ෂණය කර තිබේ.

එම නිසා රටෙහි මුල් පුරවැසියා ලෙසට ඔබතුමාගෙන් ඉල්ලා සිටිනුයෙ එක් දෙයකි.

ජනපතිතුමනි,රටට ඇඳිරි නීතිය පනවා මේ මොහොතේ මේ ව්‍යසනයෙන් මවුබිම බේර දෙනු මැනවි..

යළිත් සටහන් කරමි..ඇතැම් විට ලිපිය ලියන මා හෝ කියවන ඔබ ටික දිනකින් මෙම රෝගයට ගොදුරු වන්නට පුලුවන.

එහෙත් 225 න් එකෙකුවත් ගොදුරු නොවනු ඇත.ගොදුරු වුනද උනුනට එය ප්‍රශ්නයක් නොවනු ඇත.

මන්ද ඔවුනට ඇති ලොකුම ප්‍රශ්නය නාම යෝජනා භාර දී තුනෙන් දෙකක බහුතරය හදා ගැනීමය .