කොරෝනා සෑදී දින ගණනාවක් සැඟව සිටි කෝටිපති ව්‍යාපාරිකයා සොයා ගැනේ

කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා. ඊයේ දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

මිට පෙර කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ ජර්මනියේ සංචාරය කළ පුද්ගලයා සමග මෙම පුද්ගලයාද එම සංචාරයට එක්ව සිට ඇති අතර තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු පළමු පුද්ගලයා ගල්කිස්සේ ප්‍රදේශයේ සිටින සිය මිතුරන්ට ඒ ගැන දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු එම පුද්ගලයාද කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් PCR පරීක්ෂණය සිදු කර ඇති අතර එහිදී එම පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ඇතිව තිබෙන බවට තහවුරු වී තිබෙනවා. කෙසේ නමුත් තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු රජයේ රෝහලකට ඇතුලත් නොවී නිවසටවී සිට ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ඔහුව සම්බන්ධ කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට ඉමහත් වෙහෙසක් ගැනීමට සිදුවු බවත් අවසානයේදී රාජ්‍ය බුද්ධි අංශවල සහය අනුව ඔහුව සොයා ගැනීමට සිදුවූ බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

මෙම පුද්ගලයා වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බවත් කොරෝනා වෛරසය වැලදී සිටියදී ඔහු ආගිය ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය සිදුකරමින් ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි. එමෙන්ම එම පුද්ගලයා ගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොමු කොට ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට සිදුවූ බවද ප්‍රකාශ කර සිටියා.

මේ අතර කොරෝනා වෛරසය පිළිබද ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු වෙනුවෙන් රජයේ රෝහල් 15 නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන අතර පෞද්ගලික රෝහල් ඒ සම්බන්ධයෙන් අවසරයක් ලබා දී නැහැ.

Neth Gossip