ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ලබාදෙන වැඩපිළිවෙළක් සකස්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී.බි.ජයසුන්දර මහතාට උපදෙස් දී ඇත.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ පරිප්පු මිල සහ විදුලි බිල අඩුකර ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට සැලසුම් කරමින් සිටින බවයි.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග ඉකුත් වසරේ දෙසැම්බර් මාසය තුළ ඇමෙරිකානු ඩොලර් 67 ක් ලෙස සටහන් වූ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද වන විට සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 34ක් ලෙසයි.

ඒ අනුව මාස දෙක හමාරක් තුළ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල පැවති මිලට වඩා හරි අඩකින් පහළ ගොස් තිබේ.

මෙම ඉන්ධන මිල පහළ යෑමේ වාසිය මෙරට සමස්ත ජනතාවට ලබාදෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාට උපදෙස් දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

ජනාධිපතිවරා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ පරිප්පු මිල සහ විදුලි බිල අඩුකිරීම හරහා එම ඉන්ධන මිල අඩුකිරීමේ වාසිය ජනතාවට ලබාදෙන ලෙසයි.

ඒ අනුව ඉන්ධන මිලේ අඩුවීමට සාපේක්ෂව නිසි ගණනය කිරීමක් සිදුකර පරිප්පු සහ විදුලි බිල් පත් ගාස්තු ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ එළැඹෙන බදාදා දිනයේදී භාණ්ඩ රැසක මිල ගණන් අඩු කිරීමට රජය තීරණය කර ඇති බවයි.