කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු අධිකරණයෙන් පිටව ගොස් තිබේ.

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටි රවී කරුණානායක, පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් ඇතුළු පිරිස මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් රවී කරුණානායක මහතා පවසා සිටියේ, තමා සැඟවී නොසිටි බවත් ජනතාව සමඟ සිටි බවත්ය.

උසාවි නියෝගයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත්, එයට පිළිතුරක් ලැබෙන තුරු තමා නිහඬව සිටි බවත් පැවසු රවී කරුණානායක මහතා, තමා සැමදා අභියෝග සමඟ සිටි බවත් පැවසීය.

ඉදිරියේ දී මැතිවරණයක් පැවැත් වීමට නියමිත බවත් අලියා ඉදිරියට රැගෙන යෑමට කැපවී වැඩ කරන බවත් ඒ මහතා කියා සිටියේය.