එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා සමගි ජන බලවේගය සමග එක්වීමෙන් අනතුරුව තනිව සිරිකොතට වී සිටිය නොහැකි බැවින් එජාප නායක රනිල් වික්‍රමසිංහ තම පාර්ශ්ව සමග එක්වනු ඇතැයි හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවැසීය. එසේම ඉදිරි මහ මහ මැතිවරණයෙන් සිය බලවේගය ජයගැනීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම ආණ්ඩුවේ පිහිටෙන් කරදරයකින් තොරව වසර 5ක කාලයක් සිය ධුරයෙ කටයුතු කළ හැකි බවද හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ පැවැසීය. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඊ​යේ (12 වැනිදා) පිටකෝට්ටේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා එහිදී මෙසේ ද පැවැසීය.

‘දැනට පවතින සියලුම ​බෙදීම් අවසන් කරලා ඉක්මණින්ම අපි සියලුදෙනාම මෙතැනට ගේනවා. පොඩි ගොඩට ලොකු ගොඩක් ගේන්න අමාරුයි. ලොකු ගොඩට තමයි පොඩි ගොඩ එකතු වෙන්නේ. ඒක තමයි දේශපාලන යථාර්ථය. එක්සත් ජාතික පක්ෂයේ ඔක්කොම මෙතනට එනකොට රනිල් වික්‍රමසිංහට විතරක් තනියම සිරිකොතේ ඉන්න බැහැනේ. එතකොට රනිලුත් එයි.

අද ගම් මට්ටමින් එක්සත් ජාතික පාක්ෂිකයෝ සීයට අනූපහක්ම සමගි ජන බලවේගය සමග එකතුවෙලා ඉවරයි. ගම්වල සියලුදෙනාම විශේෂයෙන්ම වයෝවෘද්ධ පාක්ෂිකයෝ සජිත්​ ප්‍රේමදාස එක්ක යන්න ඕනේ කියන මතයේ ඉන්නවා. අද නගරබද ඉන්න උගත් බුද්ධිමත් ජනතාව පක්ෂ, පාට ලාංඡනවලින් ඉවත් වුණාට ගම්වල ජනතාව ඒවා ගැන සැලකුවා. නමුත් අද ඉතා වේගයෙන් ගම්වල ජනතාවත් මේ අලුත් බලවේග සමග එකතුවෙමින් සිටිනවා.

අද ජනමාධ්‍යවලිනුත් කරන්නේ අපේ ගැටුම් ගැන විතරයි. නමුත් මේ රජය බලයට පත්කිරීමේදී සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරපු භික්ෂුන් වහන්සේලා අද රජයට එරෙහි වෙලා. ඊයේ අභයාරාමයේදී උන්වහන්සේලා ප්‍රකාශ කළා තමන්ගේ බලාපොරොත්තු අවසන් වෙලා කියලා. මේ රජය බිහිකිරීමට දායක වුණු ආචාර්ය, මහාචාර්යවරු සහ බුද්ධිමතුන් අද රජයට එරෙහිව කඳවුරු බැඳගෙනයි. ඔවුන් එහෙම නම් ගමේ රටේ ජනතාවට මොනතරම් විශ්වාසභංගයක් ඇතිවෙලා ඇද්ද?

අද ජීවන වියදම ඉතාම ඉහළයි. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් තිස්අට දක්වා පහත වැටිලා. අඩුම ගාණේ පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකින් අඩුකරන්න පුළුවන්. නමුත් සත විස්සකින්වත් මිල අඩුකරලා නැහැ. එදා තෙල් මිල ඕන වේලාවක වැඩිකරන්න පුළුවන් නිසා ආණ්ඩුව මිල සූත්‍රය ​හොඳයි කිව්වා. ඒත් අද මිල පහත දාන්න සිද්ධවෙන නිසා මිල සූත්‍රය හොඳ නැති වෙලා.

මේ වෙනකොට රටට ඖෂධ ගේන්න එක ණයවර පතක්වත් විවෘත කරලා නැහැ. ඒ නිසා අප්‍රේල් වෙනකොට අනිවාර්යෙන්ම ඖෂධ හිඟයක් ඇතිවෙනවා. අද සියල්ල ලෝකල් පර්චස් (දේශීය මිලදී ගැනීම්) විදිහට සිදුකරන්නැයි හදන්නේ. එහෙම කරන්නේ ටෙන්ඩර් මගඩි වලට යන්න පුළුවන් නිසා. අපේ කාලේ ඉතාම සීමිත අවස්ථාවලදී විතරයි ලෝකල් පර්චස් කළේ. අද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දෙසීය විසිපහක් ඇතුළුව ඖෂධ හාරසියකට වඩා රටේ නැහැ. මේක ඉතිහාසයේ දරුණුම ඖෂධ හිඟය. අද මේ අය අපේ කාලේ බිල්පත් ගෙවන්න සල්ලි නැහැ කියලා කියවනවා. අපි දෙදහස් පහළොවේ ආණ්ඩුව භාරගන්නකොට මේ අය ගෙවපු නැති රුපියල් බිලියන එකසිය හතළිහක හිඟ බිල්පත් තිබුණා. ඒවා ගෙවන්න බැහැ කියලා අපි ඤාව් ඤාව් ගෑවේ නැහැ. අවුරුදු දෙකක් ඇතුළත අප ඒවා ගෙවලා දැම්මා. දැන් අපේ ආණ්ඩුවේ බිලියන එකසිය පනහක බිල්පත් ගෙවන්න බැහැ කියලා කෙඳිරි ගානවා. ආණ්ඩුවක් වෙනස් වෙනකොට සියලුම බිල්පත් ගෙවලා ඉවරකරලා යන්නේ නැහැ. මේ ආණ්ඩුවේ ඇමැතිවරු රජයක කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ.

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ සිරිකොත එජාප මූලස්ථානයේ තනතුරුවල කිසිඳු වටිනාකමක් නොමැති බවයි. වැදගත්කම ඇත්තේ අනාගත ආණ්ඩුවක ලබාගන්නා තනතුරුවල බවද ඔහු පැවැසීය.

මාධ්‍ය හමුවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.

‘අද ජනමාධ්‍යවල තියෙන්නේ හිඩැසක්. අපේ කාලේ කරපු සංවර්ධන කටයුතු ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ලෝක ආර්ථික අවපාතයක් තියෙද්දී අපේ රජය සංවර්ධන කටයුතු කළා. වියළි කාලගුණය සහරාන්ගේ ප්‍රහාරය හා දින පනස් දෙකේ දේශපාලන ත්‍රස්තවාදය කියන ප්‍රධාන බාධක තුනට මුහුණදීලත් අපි රට සංවර්ධනය කළා. නමුත් මාධ්‍ය මාෆියාවක් විසින් රට රට කියලා ලොකු බියක් ඇති කළා.

දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කියනවා තමන්ට ආණ්ඩුවේ වැඩ නිසා හිසරදය හැදිලයි කියලා. තවම සුනාමියේ පළවෙනි රැල්ල වැදුණා විතරයි. දෙවැනි තුන්වෙනි රැළි අප්‍රේල් මැයිවලින් පස්සේ වදිනවා. මැතිවරණය නිසා තමයි මේ අය පීඩනය හිරකරගෙන ඉන්නේ. මැතිවරණයෙන් පස්සේ ජනතාවට ජීවත්වෙන්න බැරිතරම් පීඩනයක් එල්ල වෙනවා.

නමුත් අපි බලයට පත් වුණොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අපේ පිහිටෙන් අවුරුදු පහක් ජනාධිපති ධුරයේ ඉන්න පුළුවන්. නෝන්ඩි නොවී ගෙදර යන්න පුළුවන්. මේ අයත් එක්ක හිටියොත් ​​මොකද වෙන්නේ කියලා එතුමා දන්නවා. නරක පණුවොත් එක්ක හිටියොත් මුළු ගෙඩියටම පණුවෝ ගහනවා කියලා එතුමා දන්නවා. එතුමා දැන් හිතනවා ඇති සජිත් එක්ක හිටියොත් හොඳයි කියලා.