සති ගණනක් තිස්සේ බොහෝ දෙනෙකුගේ කුතුහලයට පාත්‍ර ව තිබූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයට පිළිතුරක් ලබා දී විසඳුමක් කරා එන්නට එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සමත්වූ බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ නම කෘත්‍යාධිකරී මණ්ඩලයට යෝජනා කොට ඒකමතිකව සම්මත කරගැනීමට බලාපොරොත්තු වෙයි.

එම සම්මතය ඉන් පසුව එක්සත් ජාතික පෙරමුණේ සහ යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකත්ව මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් පසුගිය 23 වන සඳුදා රැස්වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වශයෙන් පිළිගැනීමට නිල නොවන මට්ටමෙන් එකඟ වී තිබිණි.

කෙසේ වුවද, 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේදී එකඟවූ ආකාරයට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම උදෙසා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිශ්චිත කාලසීමාවක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගෙන ජනමත විචාරණයකට ඉදිරිපත් කොට ජනතාවගේ අනුමැතියෙන් සම්මත කරගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පෙනී සිටිය යුතු වෙයි. මෙම ස්ථාවරය එක්සත් ජාතික පක්ෂය විසින් 2014 දී පිළිගෙන ඇති ප්‍රතිපත්තිය ද වෙයි.

කථානායක කරු ජයසූරිය මහතාද මෙම ප්‍රතිපත්තිය මත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කොට තිබිණි. කෙසේ වුවද, එක්සත් ජාතික පක්ෂය තුළ එක් පාර්ශ්වයක් විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතුය යනුවෙන් ස්ථාවරයක් පැවතීමත්, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතරින් සමහරක් එම මතයට සහයෝගය දැක්වීමත් හේතුවෙන් කරු ජයසූරිය මහතා තරගයට ඉදිරිපත් නොවන බව පසුව නිවේදනය කළේය.

ඒ අනුව 24 වන අඟහරුවාදා සවස අරලියගහ මන්දිරයේදී රැස්වුණු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමට අග්‍රාමාත්‍යවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වශයෙන් නම් කිරීමේ තම යෝජනාව ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරෙනු ඇති අතර, ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටිනු ඇත. එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය මෙන්ම මීළඟ මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයද රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වනු ඇත. මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් එකඟතාවය පළ කොට ඇති බවත්, රැස්වීම සුබවාදී අපේක්ෂා සහිතව අවසන් වූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමට උප නායක රවි කරුණානායක, පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ සභාපති කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරු සහභාගී ව සිටියහ. මෙයින් පසු සඳහන් ඇමැතිවරු තිදෙන සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරති.
මේ සම්බන්ධව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (සැප්. 25) පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වේ. එහිදී එකඟතාවයන් ලේඛනගත කිරීමෙන් අනතුරුව, කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙනු ඇතැයි කියැවේ.
වසර 25ක කාලයක් පක්ෂයේ නායකත්වය දැරූ පුද්ගලයා වශයෙන් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සඳහා මෙහෙයවීම තම වගකීම බවත්, ඒ සඳහා ඉදිරිපත් වී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තමා අපේක්ෂාකරන බව කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 6 වන දින පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කොට ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. ජනාධිපති අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සෙසු සාමාජිකයන් සිටිත් නම් ඔවුන්ටද පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා වන තම සැලැසුම කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකි බවත්, එයින් අනතුරුව සාකච්ඡා කර සුදුසු අපේක්ෂකයා තෝරාගත හැකි බවත් ඔහු ප්‍රකාශ කොට තිබිණි.

Leave a Reply

  Subscribe  
Notify of