කොරෝනා හෙවත් කෝවිඩ් 19 රෝගීන් හා සම්බන්ධ විවිධ තොරතුරු ලැබීම හේතුවෙන් හා ආසාදිතයන් හඳුනාගැනීම මත දිවයිනේ සියලුම පාසල් නොපැවැත්වීම හේතුවෙන් බෞද්ධ දහම් පාසල් ​අප්‍රේල් 26 වන දින තෙක් නොපවත්වන මෙන් ප්‍රධානාචාර්යවරුන් සහ දහම් පාසල් ගුරු භවතුන් වෙත දන්වා ඇත.

තවද පෞද්ගලික උපකාරක පන්තිද අද (13 වැනිදා) සිට මෙම මස 27 වැනිදා දක්වා නොපැවැත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා වෘත්තීය දේශකයන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයට සම්බන්ධ සියලු ගුරුවරුන් අදාළ කාලයේදී උපකාරක පන්ති පැවැත්වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවද එම සංගමය පවසයි. අධ්‍යාපන ඇමැතිවරයා සහ කොරෝනා මර්දන ක්‍රියාකාරී කමිටුව කරන ලද ඉල්ලීම මත මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස අදහස් දක්වා තිබුනා.

පෞද්ගලික පාසල්, පෞද්ගලික අමතර පන්ති සහ අධ්‍යාපන ආයතනයන් මේ තත්ත්වයට සංවේදී විය යුතුයි. අපිට පෞද්ගලික අංශයට නියෝග කරන්න බැහැ. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීන්දුව සැලකිල්ලට ගන්න කියා පවසනවා. ඒ වගේම අපි පොදු නිවාඩු කාලයකට පිවිසෙමු කියා ඉල්ලා සිටිනවා.