නිවෙස් වලට වී වැඩ කරන්න.. කොරෝනා අවධානම නිසා ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් සේවකයින්ට දන්වයි

කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමත් සමඟින් දිවයිනේ සියලූම පාසල් මේ වන විටත් වසා දමා තිබෙනවා.ඒ අනුව ලබන 26 වෙනිදා වනතුරුම පාසල් වසා දමා තිබෙන අතර හැකි පමණ මහජනතාව ගැවසෙන තැන්වල රැඳී සිටීමෙන් වලකින්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර බොහෝ දෙනා මතු කරන කාරණයක් වන්නේ කාර්‍යාලීය සේවකයින්ද මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවධානමක් පවතින බවයි.

විශේෂයෙන්ම ඔවුන් උදේ සවස දුම්රියේ සහ බස් රථවල ගමන් කිරීම නිසාවෙන් සහ නිතරම එකිනෙකා සමඟ වැඩ කටයුතු කිරීමට සිදුවීම නිසා වෛරසය ආසාදනය වීමට වැඩි ඉඩක් පවතින බවයි.

Google,Facebook සහ Twitter වැනි ලොව ඇතැම් ආයතන මෙම තත්වයත් සමඟ සිය සේවකයින්ට දැනුම් දී තිබුනේ කාර්‍යාලයන්ට නොපැමිණ නිවෙස් වලට වී අදාළ වැඩ කටයුතු සිදු කරන ලෙසයි.ලොව පුරා මිලියන 35 කට ආධික පාසල් සිසුන් මේ වනවිට නිවෙස් වලට වී සිටින අතර ඇතැම් රටවල පොදු ප්‍රවාහන මාධ්‍යයන් ද නවතා දමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේද ඇතැම් ආයතන මෙවැනි ක්‍රියාමාර්ගයන්ට යොමුව තිබෙන බව දැනගන්නට ලැබෙන අතර , නිවෙස් වලට වී රාජකාරි ඉටු කල හැකි හෝ ඔන්ලයින් ක්‍රමයෙන් සිය සේවකයින් සහ සේවාදායකයින් සමඟ ගනුදෙණු කරන ලෙසට ඔවුන් විසින් තම සේවකයින්ට දැනුම් දී තිබෙනවා.