දුවව පෙර පාසලට යවා , මව වැඩිහිටි නිවාසයකට යවන සමාජයකින් රටට වැඩක් නැහැ.යශෝධරාවන් කන්නගීලා තවමත් මේ සමාජයේ ඉන්නවා

දුවව පෙර පාසලට යවා , මව වැඩිහිටි නිවාසයකට යවන සමාජයකින් රටට යහපතක් නොවන බව හෝමාගම එජාප ප්‍රධාන සංවිධායක එරන්ද වැලි අංගේ මහතා පවසනවා.

ඊයේ ලෝක කාන්තා දිනය වෙනුවෙන් හෝමාගමදී සංවිධානය කල විශේෂ කාන්තා සැමරුම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

“අද අපි ජාත්‍යන්තර කාන්තා දිනය ගැන කතා කරනවා.හැබැයි අපි මේ කතා කරන මොහොත වෙන කොටත් ලෝකයේ කොහෙ හරි අස්සක මුල්ලක දුවෙක්,සහෝදරියක්,අම්මා කෙනෙක් අතවරයට ලක් වෙනවා.ඇගේ හමේ පැහැය,කතා කරන භාෂාව වෙනස් වෙන්න ඇති.ඒත් ඒ හැමෝම මේ ලෝකයට දායාද වුනේ ලෝකය ලස්සන කරන්න.ලෝකයට ජීවය දෙන්න.

2020 අවුරුද්දේ මේ වෙන කොට අපේ රටෙන් විතරක් ස්ත්‍රී දූෂණ 78 ක් වාර්තා වෙනවා.රජයේ සංඛ්‍යා ලේඛණ අනුව බරපතල ලිංගික හිංසන 21 ක් සහ ළමා අපචාර 34 ක් වාර්තා වෙලා තියෙනවා.නීතිය හමුවට පැමිණි වාර්තා විතරයි මේ.සමහර විට මේ සංඛ්‍යා තවත් වැඩි වෙන්න පුලුවන්.

මේ මහ පොලොව යට එක දවසකදී සිද්ද වෙන ගබ්සා ප්‍රමාණය 500 කට වඩා වැඩියි.ඒ දේට වගකිවයුත්තේ පිරිමියා කියන එක අපිට අමතක කරන්න බැහැ.

දරුවගේ ලෝකය ලස්සන කරන්න කියලා හිතලා දුවව පෙර පාසලට යවලා,තමන්ගේ ලෝකය ලස්සන කරපු ආදරණීය අම්මව වැඩිහිටි නිවාසයට යවනවනම් මේ සමාජය කොහොමද අපේ කාන්තාවට සුදුසු සමාජයක් වෙන්නෙ ?.පෙර පාසල් කොච්චර තිබුනත් වැඩක් නැහැ,මහලු මඩම් ප්‍රමාණයත් දවසෙන් දවස වැඩි වෙනවනම්.මොකද පොඩි කාලේ පෙර පාසලට යන සුරතල් දියණියටම තමයි කවදා හරි ,මුලු ජීවිතේම පිරිමියා වෙනුවෙන් කැප කරලා අවසානයට අම්මා කෙනෙක් විදිහට මහලු මඬමට යන්න වෙන්නේ.

අපි නැති කල යුත්තේ මේ ක්‍රමවේදයයි.

රජයන් වෙනස් වෙන්න පුලුවන්.ක්‍රම වේදයන් වෙනස් වෙන්න පුලුවන්.හැබැයි ඒ හැම ක්‍රම වේදයක් තුලම කාන්තාව ආරක්ෂිත විය යුතුයි.

යශෝධරාවන් අදටත් අපේ සමාජයේ ඉන්නවා.කන්න්ගීලා අදටත් අපේ සමාජයේ ඉන්නවා.සීතාවන් අදටත් අපේ සමාජයේ ඉන්නවා.

කාන්තාවක් තමන්ගෙ මුලු ජීවිතයම කැප කරන්නේ පිරිමියෙක් යටතේ.පොඩි කාලේ පියා යටතේ.තරුණ වියේදී ස්වාමිපුරුෂයා යටතේ.වයසට ගියාමත් එහෙමයි.හැබැයි වෙන්න ඕනේ,පිරිමියෙක් යටතේ ජීවත් වෙන එක නෙවෙයි.පිරිමියෙක් සෙවණේ ජීවත් වෙන එක.

අම්මලා අපිව කුසේ තියාගෙන ඉන්නේ මාස 10 යි.ඒත් ඒ අය අපිව මේ ලෝකෙන් යනතුරුම අපිව හිතේ තියාගෙන ඉන්නවා.

රටක පාර්ලිමේන්තුවකින් විය යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම.හැබැයි අද ඒ දේ සිදුවෙනවද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ”

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.