ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සිවිල් සමාජ සංවිධානවල සහයෝගය ලබාගැනීම සඳහා ඊයේ (17 ) රාත්‍රී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාව එකඟතාවයකට එළැඹීමට නොහැකි ව අසාර්ථක වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට වන සිවිල් සමාජ සංවිධානවල ප්‍රධාන යෝජනාවට සජිත් ප්‍රේමදාස මහතා එකඟ නොවීම මෙයට ප්‍රධාන හේතුව බව වාර්තා වෙයි. මෙයට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මරණ දඬුවම සම්බන්ධයෙන්ද, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන්ගේ ස්ථාවරයන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරයන් සම්පූර්ණයෙන්ම පරස්පර වී ඇති බවද දැනගන්නට ඇත.

මෙම සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා ප්‍රකාශ කොට ඇත්තේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා සිටින හොඳම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බැවින් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව වාද විවාද නොකර ඒ සඳහා එකට එකතු විය යුතු බවය. එහෙත්, සිවිල් සමාජ නියෝජිතයන් එම අදහස හා එකඟ වී නොමැත.

සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරු මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.

සිවිල් සංවිධාන නියෝජනය කරමින් පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය,
චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ

Leave a Reply

  Subscribe  
Notify of