POLITICS LANKA
MAR
04
මගේ ජිවිතේ බේරුනේ ලයිට් කණුව නිසයි : කොච්චිකඩේ පල්ලිය අසල සහරාන්ලා ඇටවු දෙවන බෝම්බය ගැන සිදුකල විශේෂ හෙළිදරව්ව
March 4, 2020
පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පසු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ආසන්නයේ තිබියදී සොයාගත් පුපුරන ද්‍රව්‍ය ඇටවූ වෑන් රථය නතර කර ඇත්තේ දෙවැනි ප්‍රහාරයකට සූදානම් ව බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ත්‍රස්ත මර්දන හා ​බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී දිමුතු සුරංග සමරනායක පැවැසීය.

පෙරේදා (3 වැනිදා) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ එම වෑන් රථයේ තිබූ බෝම්බය පුපුරා ගියේ නම් සිදුවන ජීවිත හානි පිළිබඳව සිතා ගැනීමට නොහැකි බවයි.

එම බෝම්බය අටවා ඇත්තේ පාස්තු ප්‍රහාරය එල්ල වූ දින පෙරවරුවේ වෑන් රථය එම ස්ථානයට රැගෙන පැමිණි පසුව බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

එසේම එම වෑන් රථය එම ස්ථානයට පැමිණ ඇත්තේත් බෝම්බ අටවා ඇත්තේත් ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මරාගෙන මැරුණු ත්‍රස්තවාදියා විසින්ම බවත් එම බෝම්බය ඇටවීමට ඔහුට ගතවී ඇත්තේ විනාඩි 28කට අඩු කාලයක් බවද ඔහු පැවැසීය.

වෑන් රථය එම ස්ථානයේ නතර කරන ආකාරය මෙන්ම බෝම්බකරු වෑන් රථයෙන් බැස එහි පිටුපසට ගොස් යම් ක්‍රියාවක නිරත වන අයුරු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබෙන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව පැහැදිලි වන්නේ ඔහු එම ස්ථානයේම බෝම්බය ඇටවීම සිදුකරන බවත් එම බෝම්බය අටවා තිබූ ආකාරයට අනුව කිසිසේත්ම වෙනත් ස්ථානයක අටවා එහි ගෙනවිත් පුපුරුවා හැරීමට නොහැකි බවද සහකාර පොලිස් අධිකාරි දිමුතු සමරනායක කොමිසමට කියා සිටියේය.

මෙහිදී කොමිසම කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කොමිසම හමුවේ හෙළි කළේ බෝම්බය තමන්ට නිෂ්ක්‍රීය කිරීමට නොහැකි වූ බවත් එය පුපුරා ගිය බවත්ය. තමන් එම බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යනවිටත් තිබුණේ ක්‍රියාත්මක තත්ත්වයේ බවත් ඔහු පැවැසීය.

පසුව පරිපථය හඳුනා ගනිමින් විදුලිය ලැබෙන වයරය පරීක්ෂා කිරීමේදී බෝම්බය පුපුරා යන්නට ආසන්න බව තමාට දැනුණ නිසා තමා වෑන් රථයෙන් එළියට ගිය බවද ඒ සැණින් තමා අසල සිටි සුනඛයකු බෝම්බයට හසු වී කෑලිවලට කැඩී ගිය බවද තමාගේ ජීවිතය බේරුණේ වාසනාවකට යැයි ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය. තමාගේ ජීවිතය ආරක්ෂා කළේ පිටුපස තිබූ විදුලි කණුවක් බවද ඔහු පැවැසීය.

රජයේ නීතිඥවරයා – බෝම්බ කීයක් ඔබ නිෂ්ක්‍රීය කර තිබේද?

සහකාර පොලිස් අධිකාරිවරයා – කොපමණ ගාණක් දැයි නිශ්චිතව මතකයක් නැහැ. විශාල ප්‍රමාණයක් නිෂ්ක්‍රීය කර තිබෙනවා. තලවිලදී හමු වූ බෝට්ටුවක ඇටවූ කිලෝ 200ක බෝම්බයක් බොරැල්ලේ පාපැදියක තිබූ මාළු පෙට්ටියක ඇටවූ බෝම්බයත්, බොරැල්ල ආයුර්වේද වට රවුමේදි කණ්ඩායම් ප්‍රහාරයකට පැමිණි ත්‍රස්තවාදීන් ඇඳ සිටි මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළා.

නීතිඥවරයා – කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානය අසල 2019 වසරේ අප්‍රේල් 22 පුපුරාගිය බෝම්බය ගැන දැනුවත්ව සිටියාද?

සහකාර පොලිස් අධිකාරිවරයා – දහවල් 1.45ට මට ඒ තොරතුරු ලැබු​ණේ. ඒ වෙලාවේ මම හිටියේ විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ මගේ කාර්යාලයේ. මට බෝම්බය ගැන තොරතුරු ලැබුණ සැණින් ඒ ස්ථානයට බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්තව පිටත් කළා. ඔහු පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලැබූ ප්‍රවීණයෙක්. ඔහු එම ස්ථානයට යොමු කළේ ඒ වන විට ඔහු ඒ ආසන්නයේ විමර්ශන කටයුතුවල රැඳී සිටි නිසයි. හවස 2.15ට පමණ ප්‍රියන්ත දුරකථන ඇමැතුමක් දීලා කිව්වා එම බෝම්බය පරීක්ෂා කළා. ඒක සංකීර්ණ පරිපථයක් සහිත එකක් කියලා. ඒ කියපු හැටියට මට තේරුණා තත්ත්වය බරපතළයි කියලා. මම තීරණය කළා එම ස්ථානයට යන්න. යතුරුපැදියක නැගලා පුළුවන් තරම් මම ඉක්මනින් එතනට ගියා. මම යනකොට වටේ හිටපු සෙනග අයින් කරලා ආරක්ෂක විධිවිධාන අරගෙන තිබුණේ.

බෝම්බ අටවලා තිබුණේ වෑන් රථය පිටුපස කොටසේ. ඒ වෙනකොට හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරිනුත් ඒ බෝම්බය පරීක්ෂා කරලා තිබුණා.

මම තීරණය කළා බෝම්බේ පරීක්ෂා කරන්න. මම වෑන් එකට යනකොට ‘සර් යන්න එපා කියලා හැමෝම කෑ ගැහුවා. බරපතළකම ගැන මට තේරුණේ පස්සේ.

ලෝකයේ මේ වන විට බෝම්බ පුපුරුවා හැරීමේ ක්‍රම 262ක් තියෙනවා. බහුල වශයෙන් ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරීම්වලට යොදාගත්තේ ඒ අතුරින් 10ක් පමණයි. එම පිපිරවීමේ ක්‍රම 10න් තුනක් එම වෑන් රථයේ ඇටවූ බෝම්බයේ තිබූ බවද ඔහු අනාවරණය කළේය.

චීත්ත රෙද්දකින් පරිපථය වසා තිබූ බවත් චීත්ත රෙද්ද ​ඇදීමේදී එක් පිපිරීමක් සිදුවන ආකාරයට එය සකස් කර තිබුණා. වෑන් රථයේ පිටුපස දොර සහ පරිපථය අතර තන්ගුස් නූලක් ඇද තිබුණා. පිටුපස දොර විවර කිරීමේදී තංගුස් නූල ඇදීමෙන් බෝම්බය පුපුරා යන්නට සූදානම් කර තිබුණා. වෑන් රථයේ බෝම්බය පුපුරා යන විට පුපුරන ලෙස ගෘහස්ථ ගෑස් ටැංකි තුනකට මැදිකර බෝම්බය අටවා තිබුණා.

මෙම බෝම්බය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වීමට සකස් කර තිබුණේ රෙදි සෝදන යන්ත්‍රයක ටයිමරයක් යොදාගනිමින්.

වෑන් රථයේ අඟලක සෙලවීමකින් පිපුරුමක් සිදුනොවුවත් වෑන් රථය වෙනත් ස්ථානයකට තල්ලු කළේ නම් බෝම්බය පුපුරා යාමට ඉඩ තිබුණා. ඒ වෙලාවේ බෝම්බය තිබුණේ ක්‍රියාත්මක වෙලයි. හරියට විදුලි බල්බයක් දැල්වීමට ස්වීචය දැම්මත් බල්බය දැල්වෙන්නේ නැති තත්ත්වයකය. හැබැයි බල්බය සෙලවූ විට බල්බය පත්තු​ වෙනවා. ඒ තත්ත්වයේ තමයි මේ බෝම්බය තිබුණේ. වෑන් එකේ පිටුපස දොර ඇරීමෙනුත්, චීත්ත රෙද්ද ඉවත් කිරීමෙනුත්, සිදුවන්නට තිබුණේ ඒ දේමයි. ටාජ් සමුද්‍රා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බෝම්බය පුපුරා නොයන්නේ මේ වගේ දෙයක් නිසයි.

මෙම සිද්ධියෙන් පසු තමාට පොලිස් අත්අඩංගුවේ සිටි සහරාන්ගේ රියැදුරා හමු වූ බවද ඔහු කොමිසමට අනාවරණය කළේය.

එයා මාව ආ සර් කියලා දැන හඳුනන අයෙක් ලෙසට කතා කළා. මම ඇහුවා මාව දන්නේ කොහොමද කියලා. එතකොට ඔහු කීවා සර්නේ වෑන් එකේ බෝම්බ ගලවන්න හැදුවේ කියලා.

මම ප්‍රශ්න කරද්දී ඔහු කීවා බෝම්බ හැදුවේ සහරාන් පානදුරේ නිවසේදී කියලා. ඔහු කිව්වා ගෑස් ටැංකි 5ක් පාස්කු ප්‍රහාරයට පෙර දිනයේ පානදුරෙන් රුපියල් 35,000ක මුදලකට තමා මිලදී ගත් බව. එම බෝම්බය අටවන විදිහ සහරාන් කොළ කැබැල්ලක ඇඳලා බෝම්බකරුට ලබාදුන් බවද ඔහු කිව්වා. ඔහු පවසපු ආකාරයට දෙමටගොඩ ගෙදරට ගෙනියපු බෝම්බ දෙක හදලා තියෙන්නේ ඉතිරු වුණ බඩුවලින්.

ඒක හදන්නේ දෙමටගොඩ පදිංචිව සිටි රිල්වාන්ගේ වුවමනාවට. ඒ වෙලාවේ සහරාන් ඔහුට කියලා තියෙනවා ඔබේ බිරිඳ ගැබිනියක් කියලා. මේ වැඩේ කරන්න එපා කියලා. එවිට රිල්වාන් පැවැසුවා අපිත් එක්ක එයත් ස්වර්ගයට යන්න ඕනේ කියලා. රියැදුරා මට එහෙම කිව්වා.​

බෝම්බ හැදුවට පස්සේ ඉතිරි වුණු සියල්ලම පුච්චලා මුළු ගෙදරම කෙමිකල් එකක් දාලා පිරිසිදු කරලා සොයාගන්න බැරිවෙන්න.