තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයට පිලියම් යෙදීම සඳහා පියවර ගැනීමට බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.සිය ෆේස්බුක් ගිණුමේ එතුමා සටහනක් තබා තිබෙන්නේ පහත පරිදියි.

අපේ පාසල්, පුහුණු ආයතන හා විශ්වවිද්‍යාලවලින් බිහිවන ශ්‍රම බලකාය සහ රැකියා වෙළඳපොල ඉල්ලුම අතර ඇත්තේ සැලකිය යුතු නොගැලපීමක්. අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මුහුණ දී සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය එය පෙන්නුම් කරන එක් අවස්ථාවක්. එබැවින් අපේ අධ්‍යාපන පද්ධතියට ආවේණික ගැටලු සඳහා කෙටිකාලීන හා මධ්‍ය කාලීන විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවක්” බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතයන් සමග අද පැවති සංවාදයකදී පෙන්වා දුනිමි. රාජ්‍ය අංශයේ ගුණාත්මක පරිහානියක් ඇති බවත්, අනවශ්‍ය සීමා ලිහිල් කර හෝ ඉවත් කර බාධා විරහිත ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉවහල් වන පරිසරයක් නිර්මාණය කිරීම අප රජයේ ප්‍රමුඛතාවක් බවත් මේ අරමුණ කරා ළඟාවීම සඳහා නූතන තාක්ෂණය ආර්ථිකයට බද්ධ කළයුතු බවත් වැඩිදුරටත් අවධාරණය කළෙමි.

කතිකාවට එක් වූ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිපුණතා කවුන්සිලයේ සභාපති චින්තක විජේවික්‍රම මහතා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය බෙහෙවින් ගතික අංශයක් බවත් වසර 28 කට පසු මේ ක්ෂේත්‍රය ජනපතිවරයෙක් ආමන්ත්‍රණය කළ පළමු අවස්ථාව බවත් සඳහන් කළේය. අපගේ මෘදුකාංග සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතින බව පෙන්වා දුන් කවුන්සිලයේ මහ ලේකම් ශාන්ත යාපා මහතා ක්ෂේත්‍රයේ දේශීය ප්‍රවර්ධනයට ප්‍රමුඛතාව දෙන ලෙස ඉල්ලා සිටියේය.

Gotabhaya