පරිසර හා වනජීවි සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන් 24 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (2) නොතීසි නිකුත් කළේය

අලි ‐ මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණෙන් එම ගැටුම පවතින ප‍්‍රදේශවල සිටින සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ට ගිනි අවි දෙදහසක් බෙදාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමක් අදාළව කරුණු දැක්වීමට අධිකරණයේ පෙනී සිටින්නැයි නියම කෙරිණි. එලෙස ගිනි අවි බෙදා හැරීමට එරෙහිව ශ්‍රී ලංකා වනජීවී සහ පරිසර ආරක්ෂණ සංගමය ගොනු කළ රිට් පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙලෙස නොතීසී නිකුත් කරන ලදී.

මෙම රිට් පෙත්සම ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම් අමාත්‍යාංශ ලේකම් ජේ.එම්.සී.ජේ.විජේතුංග, කැබිනට් මණ්ඩලය, කැබිනට් ලේකම් ඇතුළු 24 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර සංගමය සිය පෙත්සමින් සඳහන් කර සිටින්නේ අලි මිනිස් ගැටුම අවම කිරීමේ පියවරක් වශයෙන් යැයි සඳහන් කරමින් එම ගැටුම පවතින ප‍්‍රදේශවල රැඳී සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් වෙත ගිනි අවි 2000 ක් බෙදා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවයි.

මෙම තීරණයෙන් වන අලින්ට හානි කිරීමේ හැකියාව ඇති අතර අලි ගහණය අඩු කිරීම සඳහා ද හේතුවක් විය හැකි මෙන්ම වනගතව සිටින වෙනත් සතුන්ට ද හානි සිදුවීමේ අනතුරක් පවතින බවද පෙත්සම්කාර සංගමය කියා සිටී.

වන අලි ‐ මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා ගිනි අවි බෙදා දීම වෙනුවට වෙනත් උපක‍්‍රම හෝ උපාය මාර්ග යොදා ගත හැකි කරුණක් යැයිද පෙත්සම්කරු කියා සිටී.

එබැවින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් අගතියක් සිදු වීමට ඉඩකඩ පවතින හෙයින් එකී තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර සංගමය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මෙම තීරණයට අනුව දැනටමත් අදාළ ප‍්‍රදේශවල සිටින සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් වෙත ගිනි අවිය බෙදා දී තිබේ නම් ඒවා නැවත ලබා ගැනීමට පියවර ගන්නා ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

ඒ අනුව සියලූ කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණ්‍ය පෙත්සම සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි එහි වගඋත්තරකාර වනජීවී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සහ එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 24 දෙනෙකු එරෙහිව නොතීසි නිකුත් කළේය.

පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.