කොරෝනා වැළඳුනු ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ඉතාලියෙන් හමුවී තිබේ.

විදෙස් වාර්තා පවසන ආකාරයට මේ වන විට ඇයව රෝහල් ගත කර ඇත.

මේ අතර දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ස්ථාන පහක සති දෙකක් රඳවා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු කර ඇත.

දකුණු කොරියාවේ සහ ඉතාලියේ මේ වන විට කෝවිඩ් -19 වෛරසය කඩිනමින් ව්‍යාප්තවීම ඊට හේතු වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගන්නා බවයි. මෙම විද්වත් කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (3 වැනිදා) රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.

දියතලාව යුද හමුදා කඳවුර, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය ඇතුළු තවත් ස්ථාන තුනක මෙම පිරිස රඳවා නිරෝධායන කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම රටවල සිට 1000කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. මෙම වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (03 වැනිදා) පැවැත්වීමටද නියමිතව ඇත.

දිවයින පුරා පිහිටි සියලුම වරාය වෙත පැමිණෙන මගී ප්‍රවාහන නෞකාවල මගීන් රටට ඇතුළුවීමට ඉඩ ලබානොදෙන ලෙස සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුම් දී ඇත.

කෝවිඩ් -19 වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (02 වැනිදා) යොමු කළ ලිපියක සඳහන් වෙයි.
විශේෂයෙන්ම කොළඹ වරායට ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණෙන නෞකාවල මගීන්ට මෙතෙක් දින දෙකක තාවකාලික වීසා බලපත්‍රයක් ලබා දුන්නේය. එම බලපත්‍රය මත මගීන්ට රටට ඇතුළුවීමට අවස්ථාව උදාවී තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යළි දැනුම් දෙනතුරු රටට ඇතුළුවීම වැළැක්වීමේ මෙම තීරණය ක්‍රියාත්මක වෙයි.

Thumbnail image- sample image only