ජන බලවේගය සමාරම්භක උත්සවයට සහභාගි වූ පළාත් පාලන ආයතන සභිකයන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීමට එක්සත් සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 වැනිදා) පැවැත්විණි.

මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන සභිකයෝ රැසක් සහභාගි වී සිටියහ. ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කර නවක මන්ත්‍රීවරුන් පත් කිරීමට පියවර ගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් ලබාදී තිබේ.

දිවයින පුරා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිටිති.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (03 වැනිදා) කොළඹට කැඳවීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා මණ්ඩල ඊයේ (02 වැනිදා) ද රැස්විය.