මානව හිමිකම් උල්ලංඝනය වීමේ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ නව විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙන් බැචෙලට් ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කළාය.

ඇය මේ බව පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමිනි.

ශ්‍රී ලංකාව පෙරේදා (26 වැනිදා) දිනයේදී මානව හිමිකම් කවුන්සිලයේදී පසුගිය ආණ්ඩුව සමයේ සම්මත කරගත් 30/1, 34/1 සහ 40/1 යන යෝජනාවලින් සම අනුග්‍රාහකත්වයෙන් විධිමත් ලෙස ඉවත් විය. ඒ බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයේදී ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ මානව හිමිකම් කවුන්සිලය විසින් උක්ත යෝජනා යටතේ ඉස්මතුකර ඇති වගවීම ඇතුළු ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් මගින් විසඳුම් ලබා දීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් මහකොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමින් සඳහන් කරන ලද්දේ දේශීය ක්‍රියාවලියක් ඔස්සේ වගවීම පිළිබඳව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව අඛණ්ඩව අසමත් වී ඇති බවයි. එබැවින් තවත් කොමිෂන් සභාවක් පත් කිරීම ප්‍රයෝජනවත් නොවන බව ඇය පැවසීය.

එවැනි ප්‍රතිඵලයකින් වින්දිතයන්ට යුක්තිය අහිමි වී ඇති අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ අතීත රටාවන් නැවත අඩු නොවන බවට සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ට සහතිකයක් නොමැත යනුවෙන් ප්‍ර්‍රකාශ කළ මහ කොමසාරිස්වරිය,

ප්‍රතිසංවිධානය, වගවීම හා මානව හිමිකම් ඉදිරියට ගෙන යෑම සඳහා වන උත්සාහයන් පසුබෑමකට ලක්වීමේ අවදානමක් ශ්‍රී ලංකාව තුළ ඇති බව ප්‍රකාශ කළාය. එසේම 30/1 යෝජනාව ඔස්සේ මීට පෙර ඇති කරගෙන තිබෙන බැඳීම්වලට වඩා වෙනත් ප්‍රවේශයක් නව රජය විසින් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවද ඇය කනගාටුව ප්‍රකාශ කළාය.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීම් පිළිබඳ කාර්යාලයට දේශපාලන සහාය සහ සම්පත් ලබා දෙන බවට සහතික වන ලෙසට මම රජය දිරි ගන්වමි. සියලු ජන කොටස්වල අතුරුදන්වූවන්ගේ පවුල්වලට යුක්තිය හා විසඳුම් ලැබිය යුතුය.

ආරක්ෂක අමාත්‍යාංශය හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් යටතේ සිවිල් කටයුතු ගෙන යෑමේ මෑතකාලීන ප්‍රවණතාව පිළිබඳව කනස්සල්ල පළ කරමි. තවද මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ වින්දිතයන් සෝදිසියට හා හිරිහැරයට ලක්කිරීම පිළිබඳවද කනස්සල්ල පළ කරමි. එසේම අපහාසාත්මක කතා, ආරක්ෂාව සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඔස්සේ දෙමළ මුස්ලිම් යන සුළු ජාතීන්ට එරෙහිව වෙනස්කොට සැලකීම හා අසමාන ලෙස සැලකීම ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන බවද මානව හිමිකම් කොමසාරිස්වරිය සිය දේශනයේදී අවධාරණය කළාය.

Aruna News Paper