නව රජයක් බලයට පත් වුවද රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගෙන නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මැතිවරණ සමයේ ජනතාවට ලබා දුන් සහන මහ ජනතාවට ලබා දීමට රජය අපොහොසත්ව ඇති බවයි.

“මේ ආණ්ඩුවට දින 100ක් ගතවෙලා තිබෙනවා. මැතිවරණ කාලයේ එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දානව කියපු ආණ්ඩුව ඒ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මා.

ඒ කමිටුවේ වාර්තාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ එම්.සී.සී. ගිවිසුම හොඳයි කියලා. මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ එකක් කියලා බලය ගත්තාට පස්සෙ වෙන දෙයක් කරනවා. ලංකාවේ ආණ්ඩුවත් ඇමරිකාවත් එකඟතාවයෙන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක මාස හතරකින් කල් දාගත්තා.

මහ මැතිවරණයෙන් පස්සේ මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් වූ විගස අපේ රටේ ඉඩම් විදේශ සමාගම්වලට විකිණිල්ල ආරම්භ කළා. කොළඹ ෂැංගි‍්‍රලා හෝටලය ආසන්නයේ අක්කර 3ක ඉඩම සිංගප්පූරු සමාගමකට දුන්නා.

ඒ වගේම මේ ආණ්ඩුව මැතිවරණය සමයේ විශ‍්‍රාමික ආබාධිත සෙබළුන්ගේ ප‍්‍රශ්නය දැවෙන ප‍්‍රශ්නයක් බවට පත්කර ගත්තා.

රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට මතු කළා. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාස 3ක් ගතවෙලත් එම සෙබළුන්ගේ ගැටලූවට කිසිදු විසඳුමක් ඉදිරිපත් කරගන්න බැරිව ඉන්නවා. නැවතත් ඔවුන් මහ පාරේ උපවාස කරන තත්වයකට පත්වෙලා තිබෙනවා.

ඒ වගේම තමයි රජයේ විශ‍්‍රාමිකයින්ගේ විශ‍්‍රාම වැටුප් වැඩිවීමේ චක‍්‍රලේඛය මේ ආණ්ඩුව අත්හිටුවලා තිබෙනවා.

2016 සිට විශ‍්‍රාම ගිය රජයේ සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප 2020 ජනවාරි පළමුවැනිදා සිට වැඩිවීමට නියමිතව තිබුණා. ඒක ඔවුන්ගේ අයිතියක්. නමුත් වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ එම අයිතිිය කප්පාදු කොට තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී ගොවියන්ට පොහොර නිකං දෙනවා කිව්වා. නමුත් දැන් ගොවියන්ට පොහොර සල්ලිවලටවත් ගන්න විදිහක් නැහැ. මේ දිනවල අතිරේක බෝග වගා කරන ගොවියන් පවා විශාල පොහොර හිඟයකට මුහුණ දී තිබෙනවා.

ඒ විතරක් නොවෙයි මේ ආණ්ඩුව අඩු ආදායම්ලාභී පවුල්වලට රු. 3,000ක සහන මල්ලක් ලබා දෙනවා කිව්වා. නමුත් අද සහන මල්ලත් නැහැ. බොංචි කිලෝ එක, බී ලූණු කිලෝ එක, රතු ලූනු කිලෝ එක අධික ලෙස මිල ඉහළ ගිහින්.

ජනතාවට එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් නැති තත්වයට පත්වෙලා.

මැතිවරණ වේදිකාවේදී වත්මන් ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සුවා. එහෙම කරන අතරේ බැසිල් රාජපක්‍ෂ සයින්දමරුදුවලට ගිහින් නගර සභාවක් දෙන බවට මුස්ලිම් ජනතාවට පොරාන්දු වෙනවා.

බලයට පත්වෙලා මේ ආණ්ඩුව සයින්දමරුදු නගර සභාවක් කරන්න ගැසට් නිවේදනයක් ප‍්‍රකාශ කළා. දැන් එම ගැසට් නිවේදනය තාවකාලිකව නතර කොට තිබෙනවා.

මැතිවරණ කාලයේදීම වගේම මේ ආණ්ඩුව දිගින් දිගටම ජනතාව රවට්ටමින් තියෙනවා.

මෛත්‍රීපාල සිරිසේන වෙනුවට ජනාධිපති පුටුවේ ගෝඨාභය රාජපක්‍ෂ ඉඳගත්තා කියලා කිසිදු වෙනසක් වෙලා නැහැ.

මජර දේශපාලන සංස්කෘතිය ඒ විදිහටම තිබෙනවා.”යනුවෙන් ඒ මහතා පැවසීය