ජාත්‍යන්තර ඖෂධ සමාගම් සතුන් යොදාගෙන සිදුකරන ඖෂධ පරීක්ෂණ සඳහා මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ශ්‍රී ලාංකික මිනිසුන් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (25 වැනිදා) අනාවරණය විය.

සභාපතිවරයා සිය පෞද්ගලික සමාගම මගින් මෙම කටයුත්ත සිදුකර ඇතැයිද මෙහිදී හෙළි විය. ඖෂධ සහ එන්නත් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ අසරණ මිනිසුන් පර්යේෂණ කොටස්කරුවන් ලෙස යොදා ගැනීම හේතුවෙන් රෝගී ජීවිත අවදානමට ලක්ව ඇති බව මීනිමරු ඖෂධ මාෆියාවට එරෙහි ජනතා සංවිධානය පවසයි.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද එම සංවිධානය සූදානම් වෙයි.
“මිනීමරු ඖෂධ මාෆියාවට එරෙහි ජනතා සංවිධානය” විසින් රාජගිරිය, ජයසේකරාරාමය විහාරස්ථානයේදී ඊයේ (25 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණි.මෙම මාධ්‍ය හමුවට සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පාහියංගල ආනන්ද සාගර,සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන යන හිමිවරුන්ද, ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප අනුනාහිමිද සහභාගි වූහ..

ඖෂධ නිෂ්පාදන කරන බහුජාතික සමාගම් විසින් අලුතින් හඳුන්වාදෙන ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම මිනිස් භාවිතය සඳහා සුදුසු තත්ත්වයේ තිබේදැයි සොයා බැලීමේ පරීක්ෂණ කටයුතු සහ නිර්දේශයන් ලබාදීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳට අයත් පෞද්ගලික ඖෂධ සමාගමක් මගින් සිදු කරන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසූහ.
මෙම පෞද්ගලික සමාගම වසර 10කට වැඩි කාලයක් තිස්සේ ව්‍යාපාර කටයුතු සිදුකරගෙන ගොස් ඇති බවත්,සායනික පරීක්ෂණවලට සහභාගිවී ජීවිතවලින් පවා වන්දි ගෙවූ රෝගීන්ද සිටිය හැකි බව උන්වහන්සේ කියා සිටියහ.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වාම තමයි කැලණිය විශ්ව විද්‍යාලයයේ සායනික අත්හදා බැලීම් ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ.ඒ තනතුරු දරන අතරම ඔහු පෞද්ගලික ​ඖෂධ සමාගමක සභාපතිවරයකු ලෙස කටයුතු කරනවා. ඖෂධ නියාමන අධිකාරියේ පනතට අනුව එහි සභාපතිවරයාට ඖෂධ සමාගමක සභාපතිත්වය දරන්න බැහැ. යැයි පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසූහ.

මෙම මහාචාර්යවරයා ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් බවත්, මෙම සභාපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්ව ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

මෙවැනි සායනික පරීක්ෂණ කටයුතු සඳහා විදෙස් රටවල බහුජාතික ඖෂධ සමාගම් විසින් රුපියල් කෝටි ගණනින් ලබාදෙන බවත් මෙහිදී හෙළි කළේය

Source-Aruna