හිසරදය සහ ඇසේ බොඳ ගතිය හේතුවෙන් පෙනීමේ අපහසුතාවන්ගෙන් යුතු දරුවන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිකාර සඳහා ජාතික අක්ෂි රෝහල වෙත පැමිණෙන බව අක්ෂි තාක්ෂණවේදී චමින් රත්නායක සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා පෙනී සිටින දරුවන් වැඩි දෙනකු මෙසේ ප්‍රතිකාර සඳහා පැමිණෙන බව හෙතෙම අවධාරණය කරයි. බොහෝ වේලාවක් ඇස ආසන්නයේම පොත තබාගෙන පාඩම් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවන බව ඔහු පෙන්වා දෙයි.

විනාඩි 30ක පමණ වේලාවක් ඇස ආසන්නයේ පොත තබාගෙන පාඩම් කිරීමෙන් පසු විනාඩි පහක කාලයක් හෝ ඇස පොතෙන් ඉවත් කර නිදහස් කර ගත යුතු යැයිද එවිට ඇසේ මාංශපේශී ලිහිල් වී ඇතිවන අපසුව මගහැරෙනු ඇතැයිද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් දරුවන් එක දිගට පොත්පත් පාඩම් නොකර පැය භාගයකට වරක් හෝ ඇස් නිදහස් කිරීමට වගබලා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු යැයිද එසේ නොවු හොත් හිසරදය, ඇස්වල බොඳ ගතිය, කඳුළු ගැලීම, ඇස් රතුවීම, වේදනාව, වැනි ලක්ෂණ මතුවන බව ඔහු අවධාරණය කරයි. පවතින තරග විභාග හමුවේ දරුවන්ගේ මානසික ආතතිය ඉහළ යාම මෙවැනි රෝග තත්ත්වයන් මතුවීමට හේතුවක් වී ඇති බව විශේෂඥවරුන් පෙන්වා දී ඇතැයිද පැවසේ.

ශ්‍රියානි විජේසිංහ