ඉතින් අවසරයි🙏

අපි ආව දියතලාවට,නිවාඩුවකට නෙමෙයි නිරෝධනයට.මෙතන ඉන්න කිසිම කෙනෙක් කවදාකවත් හීනෙකින්වත් හිතපු නැති දෙයක්.නමුත් ඒ නොහිතපු හීනෙ දැන් සිදු වෙලා තියනව.දියතලාවෙ යුධ හමුදා පුහුණු කදවුරේ අපි 33 දෙනෙක් අපිටම විශේෂිත වූ කාමර වලට වෙලා දවස් 14ක් ගෙවල අපිව රැක බලාගත්ත දියතලාව යුධ හමුදා කදවුර දාල අපි යනව.මේක දාල යන්න බැරි තරමට දුකක් එනව.😫

මේ දවස් 14ට පුදුම වෙනසක් සිදුවුනා.පුදුම බැදීමක්.අපි අතර මෙන්ම අපිට කෑම(එකිනෙකට වෙනස් වූ ඒ ප්‍රනීත ආහාර කිසිදිනක අමතක නොවේවි 😍) ඇතුලු අනෙකුත් අවශ්‍යතා ගෙනත් දෙන හමුදා නිළධාරීන්,අපේ සෞඛ්‍ය ගැන බලන යුධ හමුදා වෛද්‍යවරුන් ඇතුලු දුරකථනෙන් කතා කරල අපේ සුවදුක් හොයල බලපු අපේ අවශ්‍යතා හොයල බලපු යුධ හමුදා නිළධාරීන් සියලුම දෙනා අතර ඇතිවෙලා තිබුනෙ එකම පවුලක බැදීමක්,නිළ ඇදුමට ඇතුලතින් තිබූ සොදුරු මනුශ්‍යත්වයත් එක්ක.❤️

ලංකාවෙ හතර කොනේ ඉන්න මේ 33 දෙනා එකම බිම් කොටසක තියන වෙන්වූ කාමර වල.කිසිම බයක් නැතුව හුස්ම ගන්න ,කෑම ටික කන්න,නිරෝධායන ක්‍රියාවලියට යටත්ව බැඩ්මින්ටන් වගෙ ක්‍රීඩා කරන්න පුලුවන් උනා මොකද අපි දන්නව එතන හැම අතින්ම 100%ක්ම ආරක්ශිත යි කියල.කවුද හිතුවෙ එහෙම ඉන්න.ඒත් අපි හිටිය.හරි පුදුමයි.ලංකාවෙ සරසවි ආචාර්යවරුන් ඇතුලු මේ 33 කණ්ඩායමේ මේ දවස් ගානක් මෙහෙම ඉන්නෙ ඇයි කියල නොදන්න මල් කැකුලු වගේ දරුවො 4 දෙනෙකුත් එක්ක .

මෙතන තියනව පුදුම බැදීමක්.සිංහල දෙමල.මුස්ලිම් මේ ඔක්කොම එකට.එක කෑම වේල කනව.අපි එක්ක ඉන්න දෙමල අයිය කෙනෙක් සංවේදිව කියනව

“ඇයි මල්ලි මේ හමුදාව අපිට මෙච්චර සළකන්නෙ ඇයි මේ තරමට අපිව බලාගන්නෙ ගෙදර මිනිස්සුන්ටත් වඩා ආදරෙන්” කියල.❤️

ජාතිභේදයක් නෑ අපේ රටේ මනුශත්වය අගයන්න.ලංකාවට ආපු හැම තර්ජනයකදිම කිසිම කෙනෙකුට බාර ගන්න බෑ කියල අතෑරපු අභියෝග බාර අරගෙන ,අරගත්තු වගකීමේ අකුරකවත් අඩුවක් නොවෙන්න කරපු ලෝකයේ විශිෂ්ඨ ම මානුෂීය හමුදාව ගැන තව මොනව කියන්නද.රාජකාරිය ට එහා ගිය මානුෂවාදී මිනිසුන්. කෙනෙකුගේ කරදරයකදි රාජකාරී තනතුර, නිළය, ගැන කිසිම තැකීමකින් තොරව මිනිසත්කමේ නාමයෙන් දේශයේ මුර දේවතාවුන් දිවා රෑ වෙහෙසෙනව.අපි 33 දෙනා අතර අයගෙ පවුල් වල අයත් ඉන්නව අපේ මානුෂීයම හමුදාව තුල තම වගකීම් ඉටු කරමින්.ඔවුන් තුල නිහතමානී ආඩම්බරයක් තියනව ඒ පිළිබඳව.❤️

අපි මේ ගෙවල තියෙන්නෙ නැවත මේ ජීවිතේ කවමදාකවත් ලබාගත නොහැකි අත් දැකීම් ගොන්නක් එක්ක.ඒක ඇතුලෙ හරි පුදුම දේවල් ගොඩක් සිද්ධවෙනව වගේම සිද්ධවුනා. අහම්බයනුත් නොතිබුනා නොවෙයි.😶

අපි එන්න කලින්,

අපිත් එක්ක හිටපු අයිය කෙනෙක්ගෙ යාලුවෙක් අපිට කෑම දෙන්න තීරණය කරනව වූහාන් වල ඉන්න කාල සීමාවෙ.ඒත් කොහොමද වූහාන් වලට එන්නෙ.වූහාන් වලට කිසිම කෙනෙක්ට ඇතුලු වෙන්න බෑ(මේ විදියට කෑම එවන්න පිරිස් ඇහුවට ලොකුම ගැටලුව තිබුනෙ ඒ වෙලාවෙ කිසිම කෙනෙකුට වූහන් වලට එන්න බැරි එක).අන්තිමේදි චීන හමුදා නිලධාරියෙක්ගෙ සහය ඇතුව වාහනේක බඩු ටික ගේනව.කෝහේටද ගේන්නෙ .තව ප්‍රශ්නයක්.අන්තිමට වූහාන් යුනිවර්සිටි එකට ගේනව.ඒකෙ අපි හතර දෙනෙක් ඉන්න නිසා ඇතුලට ගන්න පුලුවන් නිසා.වූහාන් යුනිවර්සිටි එකේ අපි ඉන්න තැන් ඉදල බඩු ටික ආපු පිවිසුමට ගොඩක් දුර.කිසිම ටැක්සි එකක් වැඩ කරන්නෑ..වැඩ කරත් කිසිම වාහනයක් ඇතුලට එන්න දෙන්නෑ(සියලුම දෙනාගෙ ආරක්ශාවට ගත්ත තීරණයක් ).මොනව කරන්නද.පැය 4ක් 5ක් තිස්සෙ අපි ඒ බඩු ටික අපේ dormitory වලට ගේනව.අවධානමක් අරගෙන.කිසිම කෙනෙක් එලියට නොබහින වෙලාවක.33 දෙනා වෙනුවෙන්ම.ලංකාවට යන්න බැරි උනොත් දවස් කිහිපයකට හරි කෑම ටික හැමෝ අතරම බෙදා දෙන බලාපොරොත්තුවෙන්.ඒත් අපිට ඒ කෑම අපි අතරෙ බෙදාගන්න බැරි වෙනව වූහාන් වල තත්වය එන්න එන්නම දරුණු උන නිසා🙁.අපි අතර හිටි බොහෝ දෙනා උදේ පටන් මුලු දවස පුරාම කාර්‍යබහුල උනා මේ සදහා විසදුමක් හොයාගන්න.බාධක ගොඩක් මැද කර ඒ කැපවීම අතිශය සාර්ථක වෙලා තියනව.😊

අපි ජනවාරි 31 ලංකාවට එන්න පිටත් වෙනව

වූහාන් වලින් airport එකට එන්න අපි කතාකරගත්ත බස් එකට එන්න බෑග් අරගෙන ඇවිදගෙනම එක් පැත්තක තියන පිවිසුමක් වෙත් යනව.අපේ ඇස් විතරක් එලියට පේන විදියට අපි සූදානම් වෙන්නෙ.මොකද එලියෙ ඇවිදින ගමන ඒ තරමට අවධානම්.එතනින් අපිට එලියට යන්න දෙන්නෑ.අපි කොච්චර කිව්වත්🙁.අන්තිමට අපිට තව දුරක් ගෙවාගෙන ආරක්ශක ප්‍රධානියෙක් හම්බවෙන්න වෙනව.එයා අපේ උශ්නත්වය පවා චෙක් කරල ප්‍රශ්නයක් නෑ කියල කියල යන්න දෙනව(ඒ අපෙත්, රටෙත් හැමෝගෙම ආරක්ශාවට කරන දෙයක්).ඒතනින් එලියට ඇවිත් අපි බස් එකට එන්න කියපු තැනට එන්න අපි ලොකු වටයක් යනව.මහන්සිය ගැන හිතන්නෑ අපි යනව.මොකද අපි තව පැය කිහිපයකින් ලංකාවෙ කියන සිහිනය හිතේ තියන නිසා😊.

අපි බස් එකට නැගල අනිත් ලමයි ඉන්න තැන් හොය හොයා වූහාන් නගරෙ වටේ යනව.දුර වැඩී.හැම පාරකම යන්නත් බැරි නිසා.එක අවස්තාවක අපේ බස් එකේ රියදුරු ට කේන්ති යනව. ඔක්කොටම බැනල බස් එකෙන් බැහැල යනව(පාරවල් වහල නිසා ලොකු වටයක් යන්න උන එකට)🙁.අපේ කිසිම කෙනෙක් මොකුත් කියාගෙන යන්නෑ.එහෙම උනොත් ඒ රෑ අපි කොහේ කියල යන්නද.කොහොම වාහනයක් හොයාගන්නද.අන්තිමට හොදින් කතාබහ කරගෙන අපි ගුවන්තොටුපළට එනව😊.

ගුවන්තොටුපලේ අපි පැය 5කට ආසන්න කාලයක් ඉන්න නිසා හැමෝම ඉන්නෙ බඩගින්නෙ🙁.අපි යනව කියල දැනෙද්දි බඩගින්න කියන එකත් ලොකුදෙයක්ද.ඉතින් අපි ලග තිබුණු පලතුරු ටික එකතු කරල දෙනව අපි වෙනුවෙන් කැපවෙලා වැඩකරන ගුවන්තොටුපළ සුළු සේවකයින්ට.ඒක ලොකු දෙයක් නෙමේ,ඒත් අපිට තේරුනා ඒ පොඩි දේත් වටිනව කියල ඒ අවස්ථාවෙ චීනෙ ඉන්න අයට🤗.

අපේ ටිකට් චෙක් කරන්න කලිනුත් අපේ ශරීර උශ්නත්වය මනිනව.ප්‍රශ්නයක් නෑ හැමොම හොදින්😊.

එතනින් අපි ඊලග තැනට යනව.
අපි අපේ බෑග් පරීක්ශා කරන්න පෝලිමේ ඉන්නව තව විදේශිකයන් පිරිසකුත් එක්ක.එතනට ගියාම අපේ නම් ලිස්‍ට් එකක් නෑ කියනව🙁.අපිට යන්න වෙන්නැද්ද.අපි අනෙක් විදේශිකයන් ට ඉඩ දීල පැත්තකට වෙලා බලන් ඉන්නව.කිසිම කෙනෙක් බලාපොරොත්තු අත් හරින්නෙ නෑ.මේ වෙද්දි හැමෝම හිත බොහොම ශක්තිමත්.අපි වෙනුවෙන් අපේම ගුවන් යානයක් බලන් ඉන්න නිසා ගුවන්තොටුපළ තුල.නැවතත් අදාල පාර්ශව වලට කතා කරල අපේ නම් ලිස්ට් එක එම ස්ථානයට ලැබෙන්න සලස්වනව😊.(සුළු අතපසුවීමක්)
වූහාන්හි ටියැන්හෙ ගුවන්තොටුපොළේ කළමණාකාර තුමා සහ කාර්‍යමණ්ඩලය , එහි ගුවැන්ජෝ ශාඛාවේ කළමණාකාරු, සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ දකුණු චීන කළාප කළමණාකාරු අපිට සම්පූර්ණ ක්‍රියාවලියට ලොකු සහයක් දක්වනව🙏.

අපේ බෑග් පරීක්ශාවෙන් පස්සෙ අපි යනව අපේම මිනිස්සු එක්ක අපි වෙනුවෙන් බලන් ඉන්න අපේම ගුවන්‍ යානය වෙතට.Sri Lankan Airline එකේ ගුවන් යානයක්,ජීවයක් නැති දෙයක් උනත් අපි වෙනුවෙන් ආදරෙන් බලන් ඉන්නව වගෙයි අපිට පෙනුනෙ. ❤️ බයවෙන්නෙපා උබලව මන් පරිස්සමට ලංකාවට ගෙනියන්නම් කියනව වගේ සමීප බවක් දැනෙනව ගුවන් යානයට ඇතුළුවෙද්දිම.🤗
මානුෂීය ගුවන් යානය.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිතුමා ඇතුළු කාර්‍යමණ්ඩලයත්, UL1423 ගුවන් යානයේ ගුවන් නියමුවා ප්‍රමුඛ කාර්‍යමණ්ඩලය ත් අපි ලංකාවට රැගෙන යාමේ වගකීම අරගෙන පෙර ගමන් නොකල ගුවන් මාර්ගයක ගමන් කරනව අපිවත් අරගෙන🙏.කිසිම රටක ගොඩබෑමකින් තොරව ගමන් කළ යුතුව තිබුණු බවද සදහන් උනා.

මත්තලින් ගුවන්තොටුපළේදි අපේ සියලු නිරෝධායන කටයුතු සිදුවෙනව,ඒ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති තුමා ඇතුලු කාර්‍යමණ්ඩලය සහ විශේෂයෙන් එහි නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ වූ සියළු නිළධාරීන් උපරිම කැපවීමෙන් සියලු වැඩකටයුතු ඉතා පිලිවෙලට සිදුවෙනව🙏.අපි හැමෝම ජීවිතේ පළමුවරට ඒ ක්‍රියාවලිය අත්දකිනව. ශ්‍රී ලංකාව වගේ පුංචි රටක් උනත් ඒ තාක්ෂණය අතින් අපේ ගුවන් හමුදාව අනෙක් රටවල් හමුවේ බොහෝ ඉස්සරහින්💪.

අපි දියතලාවට එනව දින 14කට

මේ පිං බිමේ රණවිරු දෙවිවරු සමග මේ ගෙවුනෙ අපේ ජීවිතේ ආරක්ශිත ම කාලෙ වෙන්න ඇති.කිසිම දේකට බයවෙන්න කිසිම ඉඩක් තිබුනෙ නෑ මේ සීමාව ඇතුලෙ.අපි හිටියෙ දවස් ගැන ගැන.යන්න හදිසියටද.නෑ යන එකේ දුකට.ඒක සතුට මිශ්‍ර වුන් දුකක්.😐අපි අපේ ගෙවල් වලට යන එකට දුක ත් එක්ක එකතු උන සතුටක් තියෙන්නෙ.අනිත් අතින් අපිට අපේම ගෙදරක් උන දවස් 14කට අපේම පව්ලක් උන දියතලාවෙ කෑම්ප් එකයි අපි 33 දෙනයි දාල යන්න වෙන එකට.ඒක පුදුම බැදීමක්.අපි කෝල් එකක් මැසේජ් එකක් දාල හැමෝම එකට සම්බන්ද වෙනව.දවස ගෙවෙන්නෙ එකම බිමක.ඉතින් අදින් පස්සෙ ඒව නෑ.😔

මේ ඉන්න හැමෝගෙම සෞඛ්‍ය ගැන දිනපතාම හමුදා වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් අන්තිමට අපිට වාර්ථාවක් දෙනව,පුතේ උබලට කොරෝනා නෑ.උබල කොරෝන වාහකයො නෙමෙයි කියල.අපි ඉල්ලපු දේ රටක් ඉල්ලපු දේ අන්තිමට ලැබෙනව.අපිව ගන්න බෑ කියපු අයට,ලංකාවට කොරෝනා ගේනව කියනව කියපු අයට තහවුරු කරන ලද උත්තරක් ලැබෙනව🤐.ඒ වෙලාවෙ අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණය 100% නිවැරදි තීරණයක් කියල ඔප්පු වෙලා තියනව 🙏. ඒ නිවැරදි නායකත්වයට පක්ශ පාට ආගම් වලින් තොරව සියදහස් වාරයක් හිස නමා ගරු කරනව.ඒ නිවැරදි තීරණේ පිටුපස චීන තානාපති කාර්‍යාලය,විදේශ කටයුතු අමාත්‍යාංශය,ශ්‍රී ලංකා ගුවන් සේවයේ කාර්‍යමණ්ඩලය,ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව,යුධ හමුදාපති තුමා ඇතුළු නිළධාරීන්ට සහ විශේෂයෙන් දියතලාව යුධ හමුදා රෝහලේ කාර්‍යමණ්ඩලය ඉන්නව🙏.
දියතලාව යුධ හමුදා පුහුණු කදවුරේ අපි වෙනුවෙන්ම වෙන්වූ නිළදාරීන් පිරිසක් නිරන්තරයෙන් අප පිලිබද සොයාබලමින් කටයුතු කරනව.අන්තිමට 33 දෙනාගෙම සිදුකල සම්පුර්ණ වෛද්‍ය පරීක්ශාවෙන් පසුව දියතලාව හමුදා කදවුරෙන් සමුගැනීමට තේ පැන් සංග්‍රහය ක් දෙනව.වචනයෙන් විස්තර කල නොහැකි ස්තූතියක් සමග හිසනමා ඔවුන්ට සමුදෙනව.ඒ අනුව යුධ හමුදා මූලස්ථානය වෙත අපි ගමන් කරනව.

අපිට එහෙදි ලැබෙන ගෞරවණීය පිළිගැනීම.ඇස් වලට කදුලු එනව.සියලුම දෙනා එතනට එක්වෙලා.යුධ හමුදාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු යුධ හමුදා නිලධාරීන් ,ගුවන් හමුදා නිලධාරීන් ,විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මැතිතුමා,ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මැතිතුමා,UL1423 ගුවන් යානයේ ගුවන් නියමුවා ප්‍රමුඛ කාර්‍යමණ්ඩලය, ඇතුලු විශාල පිරිසක් අපි වෙනුවෙන් උණුසුම් පිලිගැනීමක්.අප රැගෙන ආ ගුවන් යානා කාර්‍යමණ්ඩලය රෝස පොහොට්ටුවක් දී අපව උණුසුම් පිලිගැනීමක් කරනව.අපි ඔවුන්ට දක්වන්න ඕනෙ ගෞරවය ඔවුන් අපට දක්වනව.අපේ හමුදාව කෙතරම් මානුෂවාදී ද යන්න නැවත නැවතත් ඔප්පු කරමින් පොඩි දරුවො ටිකට සෙල්ලම් බඩු දෙනවා.කෑම බීම සියලු සත්කාර හමුවේ අපගේ පැමිණීම සදා නොමැකෙන මතකයක් කරමින් අපිව සම්පූර්ණයෙන් නිරෝගී පුද්ගලයන් ලෙස සමාජයට මුදාහරිනව.මේ වචන මදි ඔවුන්ට ස්තූති කරන්න.

මීට දවස් ගානකට කලින් අපි හිටපු චීනෙ වූහාන් අකාරුණික කොරෝනා අනසක පතුරුවමින් ඉන්නව.චීන රජය අසරණයි ඒත් ඒක අභිබවා මනුස්සකම ඉස්මතුවෙනව.හැම දෙනාම මේක පරජය කරන්න කටයුතු කරනව.අනිවාර්යය සේවයක් විදියට මේක කරනව.අම්මල ලමයි ලගට නොයා රාජ්කාරි කරනව,විවාහ කල් දමනව.පොදු ස්ථාන රෝහල බවට පත් කරනව,ස්වේච්ඡා සේවකයො රට ඇතුලෙ සහණාදාර කටයුතු වැඩවල ඉන්නව.කිසිම කෙනෙක් තමන්ගෙ වගකීම පැහැරහරින්නෑ.දසදහස් ගනන් රෝගීන් වැඩි වෙද්දිත්,මරණ දහස් ගනන ඉක්මවද්දිත් ඒ අය ජීවිතෙත් පවා වන්දි ගෙවමින් තම රාජකාරි අකුරට කරනව.වැටුන තැනින් නැගිටින්න. අනෙකුත් විදේශිය සිසුන් තාමත් හිරවෙලා චීන ජාතිකයො වගේම .

“දැන් එලියට යන්නත් නෑ,අපි ස්ථීර ලෙසම දැන් හිරගෙවල්වල වගේ” අප්‍රිකානු රටක මිතුරෙක් කියනව.

“අපිව ගන්න කියල ඔයාලටත් අපේ රජයට කියන්න බැරිද” කියල පකිස්ථාන මිතුරෙක් අහනව.

නේපාල් යාලුවෙක් කියනව “අපි දැන් දන්නව අපේ රටවල් වලට වඩා ශ්‍රී ලංකාව හදිසි අවස්තාවක තීරණ ගන්න සහ ක්‍රියාත්මක කරන්න කාර්යක්ශමයි වගේම කැපවෙලා කටයුතු කරනව කියල”.

චීන මිතුරො ගොඩක් අය කියන්නෙ “අපි පුලුවන් තරම් හිත ශක්තිමත් කරන් ඉන්නව,ඒත් කොයි මොහොතෙ කාට වැළදෙයිද කියල කියන්න බෑ” කියල.

මොකද මේ වෙද්දි එක පවුලකින් එක්කෙනෙක් අරගෙන යනව කෑම ගන්න.සමහර අයට කොල වර්ග ගෙනත් දෙනව කන්න.ලගදිම ආහාර නැතිවෙයිද කියල සැකයකින් ඉන්නව.ඉතින් මේ සියලු දෙනාව අපි අපේ විදියට දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලනව ආරක්ශා කරල දෙන්න කියල.අපි ලංකාවට එද්දි තිබුනට වඩා 10 ගුණයකින් මරණ ප්‍රමාණය ඉහළ ගිහින්.මරණය පෙනි පෙනී ජීවිතය යදින දසදහස් ගනනක් චීන ජාතිකයො බේරගන්න කටයුතු කරන එක චීන රජයට යම් තරමක හරි පහසුවක් වෙනව අනෙකුත් රටවල මිනිස්සු ඒ රටවලට යන එක.ඒක කරන එක කිසිසේත්ම ලේසිපහසු කටයුත්තක් නොවෙන බව හොදාකාරවම පේනව.
ඒ අමාරු කර්තව්‍යය තුලින් ලංකාවට ඇවිත් නිරෝධායන කටයුතුත් ඉවර වෙලා දවස් ගනන් නොකා නොබී හිත් ඇතුලින් පිච්චි පිච්චි හිටපු ගෙවල් වල මිනිස්සු හොයාගෙන යන්න යනව.
මේ යන මොහොතෙත් ඉහතින් සදහන් කල සියලු දෙනාට ඇතුලුව,
අප ගෙන්වා ගැනීමට කටයුතු කළ වූහාන්හි අධ්‍යාපනය ලැබූ,ලබන සහෝදර සිසුන් සහ දෙමාපියන් ටත්,ලංකාවේ බෝධි පූජා,පිරිත්, ආශිර්වාද,යාඥා ආදීආගමික කෘත්‍යයන් මගින් ජීවිත ආරක්ෂාව ප්‍රාර්ථනා කළ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරුන් ටත්,වූහාන් නගරය වසා දැමූ දිනයේ සිට සැබෑ තතු ලාංකික ජනයාට වාර්තා කළ විද්‍යුත්,මුද්‍රිත,සහ සමාජ මාධ්‍ය සහෝදරත්වයටත්,

විවිධ අයුරින් ජීවිතය පිළිබදව බලාපොරොත්තු දැල්වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ටත්,චීනයේදී අපහට රැකවරණය සැලසූ පුරවැසියන්ට, හුබෙයි පාලන අධිකාරියට සහ මහජන චීන සමූහාණ්ඩුවේ ගරු ජනාධිපති වරයාටත් දිය හැකි උපරිම කෘතඥාපූර්වක ස්තූතිය පුද කරමින්(නම් වශයෙන් සදහන් නොකෙරුවත්) ජීවිතයේ අමතක නොවෙන සිද්ධි දාමයක අවසානයක් සනිටුවහන් කරමින් සොදුරු නවාතැන් පළකින් නික්ම යනව ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් යන සදාතනික සත්‍යය සිහිපත් කරමින්.

රට පුරා විසිරී යන මේ 33 දෙනා එනකන් බලාගෙන හිටපු පව්ලේ අය,නෑදෑ හිතමිතුරන් සමග අමතක නොවන අත්දැකීම් සමුදායක් බෙදා ගනිමින් නොනිමි සතුටකින් ඉදීවි.අදත් හෙටත් මතුවටත්.අපිව ගන්න කටයුතු කල නිහඩ විරුවන් අදත් මතුවටත් ඔවුන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරමින් ඉදීවි.

ඉතින් අවසරයි මනුශ්‍යත්වයේ නාමයෙන් ඔබ සමග තවදුරටත් රැදෙන්න 🙏.

-කසුන් වික්‍රමගේ-