ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනකු වෙනුවෙන් අති සුඛෝපභෝගී මෝටර් රථ 58 ක් පෞද්ගලික සමාගමකින් කුලියට ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව සමයේ කැබිනට් අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ලේකම්වරයා පවසන්නේ අමාත්‍යාංශවලට සුඛෝපභෝගී වාහන ගෙන්වීමට අමතරව මෙලෙස තවත් වාහන 58 ක් ලබාගැනීම සඳහා 2016 වසරේදී අනුමැතිය හිමිවූ බවයි.
එම තීරණයට අනුව රජයට රුපියල් කෝටි 243 ක් අහිමිවීමට හැකියාව පැවැතුණු බැවින් විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස තමා ඊට විරුද්ධ වූ බව අදාළ නිවේදනයේ දැක්වේ.

එලෙස විරුද්ධවීම නිසා එවකට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ‘ආර්ථික හා කළමනාකරණ කමිටුව’ හමුවට තමා කැඳවා ප්‍රසිද්ධියේම ‘අත්සන් කිරීම හෝ ඉවත්වීම’ (Sign or Resign) සිදුකරන ලෙස හිටපු අගමැතිවරයා විසින් තර්ජනය කළ බවද එහි සඳහන් වේ.

මෙම ගනුදෙනුව සඳහා අත්සන් කිරීමට හිටපු මුදල් ඇමැති මංගල සමරවීරගෙන්ද තමාට දැඩි බලපෑමක් එල්ල වූ බව සඳහන් කරන හිටපු ලේකම්වරයා පසුව හිටපු ජනාධිපතිවරයා විසින් මෙම තීරණය යළි සමාලෝචනය කිරීම සඳහා පත්කළ කමිටුවක තීරණයක් අනුව ගිවිසුම අත්හිටුවීමට කටයුතු කළ බවද සිය නිවේදනය ඔස්සේ වැඩිදුරටත් පවසා ඇත.