ආනන්ද විද්‍යාලය සෑම සිසුවෙකුටම රටට ආදරය කිරීමට ඉගැන්වු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට 07වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජනාධිපති ආදී ආනන්දයීය ගෝඨාභය රාජපක්ෂ මහතාට උපහාර පිදීමේ උළෙලක් කොළඹ ආනන්ද විද්‍යාලය විසින් අද පෙරවරුවේ සංවිධාන කර තිබුණි.

එම උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා තමන්ගේ ජීවිතයේ අද සිටින ස්ථානයට පැමිණීමට මුලික වශයෙන් අභාශයක් වු ස්ථාන 3ක් ඇති බව පැවසීය.

ඒ ආදරණීය දෙමව්පියන්ගේ සෙවණ, දෙවනුව පාසල වන ආනන්ද විද්‍යාලය හා තෙවනුව වසර 20 ක් තමා හමුදා නිලධාරියෙක් ලෙස තමා ලැබු පුහුණුව බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලංකාවේ ඇති ප්‍රමුඛතම සිංහල බෞද්ධ පාසල වන්නේ ආනන්ද විද්‍යාලය බවද පැවසු ජනපතිවරයා, පාසල ආරම්භ කළ දිනයේ සිට මෙහි අධ්‍යාපනය ලැබු සෑම සිසු දරුවෙකුටම ජාතික හැඟීම හා බෞද්ධ දර්ශනය කාවද්දා ඇතැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

තමා කුඩා කාලයේ දී ආනන්ද විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතර වී සිටි බවත්, එහිදී රටේ දැවැන්ත යුග පුරුෂයන් පැමිණ දේශන පවත්වන බවත් පැවසු ජනාධිපතිවරයා, තමා ලැබු අධ්‍යාපනය තුළ පතපොතෙහි පමණක්ම ඇලීගැලී නොසිටි බවත් කියා සිටියේය.

වෙනත් විෂය භාහිර ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වු බවත් කියා සිටි ඒ මහතා, වඩුවැඩ, යකඩ වැඩ ආදියත් ඉගෙන ගත් බව පැවසීය.

අද දවසේ කථා කරන වෘත්තීය අධ්‍යාපනයට එය හොඳ අඩිතාලමක් බවත් සඳහන් කර සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආනන්දය සෑම දිනකම රටට ආදරය කරන ලෙස සිසුන්ට ඉගැන්වු පාසල් බවද කියා සිටියේය.

පරම්පරාවෙන් පරම්පරාවට දේශප්‍රේමී පුතුන් බිහි කළ පාසල් බවත් වැඩිදුරටත් සඳහන් කර සිටි ජනපතිවරයා, වර්තමානයේ ජාතික නායකයින් ලෙස තමාට හොඳින් රට ඉදිරියට ගෙන යෑමට හැකි වී ඇත්තේ ආනන්දීය විද්‍යාලයෙන් ලැබු ශක්තිය නිසා බවත් පැවසීය.

ආනන්ද විද්‍යාලයෙන් බිහි වු අය අතර එක්දින තරගවලින් ලෝක ශුරයින් බවට පත් කළ නායකයා, වසර 30ක යුද්ධය අවසන් කළ ආරක්ෂක ලේකම්වරයා, යුද හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරීවරයා මෙන්ම යුද හමුදාවේ නොයෙක් මට්ටම්වල නායකයින් මුලික වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ආනන්ද විද්‍යාලයෙන් විද්‍යාඥයින්, පර්යේෂකයින් හා ඉංජිනේරුවන් විශාල ප්‍රමාණයක් මෙන්ම කලාකරුවන්, හා පාර්ලිමේන්තු කථානායකවරයෙක් හා අගමැතිවරයෙක් බිහි කළ බවත් පැවසු ජනාධිපතිවරයා අද දවසේ ජනාධිපතිවරයෙක් ද ආනන්ද විද්‍යාලයෙන් බිහිව ඇතැයි පැවසීය.