රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“සංවර්ධනයේ දී ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සියලු දෙනා අවධානය යොමු කළ යුතුයි.

අවිධිමත් සවංර්ධනය පරිසර විනාශයටත්, තෙත්බිම් අහිමිවීම කෙරෙහිත් බලපා තිබේ.

සතුන් සහ පැළෑටි මගින් ලැබුණු මහත් ප්‍රයෝජන අපට අහිමි වෙමින් පවතී.

සොබාදහම විනාශවීමට සාපේක්ෂව සංස්කෘතිය ද විනාශ වෙයි.

නීති රීති පැනවීමෙන් පමණක් තත්ත්වය වෙනස් කළ නොහැකියි.

පරිසරය පිළිබද මහජන සුබවාදී ආකල්ප සහ අවබෝධය ඉතා වැදගත් බව” ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

බත්තරමුල්ල, අපේගම් පරිශ්‍රයේ දී අද( 03) පෙරවරුවේ පැවති ලෝක තෙත්බිම් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ලෝක තෙත් බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 02 වන දිනට යෙදී තිබේ. “ජෛව විවිධත්වයෙන් යුතු තෙත්බිම්” යන්න මෙවර තේමාවයි.

පරිසර අධිකාරිය හා වනජීවි දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩසටහන සංවිධානය කර තිබිණ.

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට නම් පරිසර විනාශය නතර කළ යුතුය.

නමුත් සංවර්ධනය අතපසු නොකළ යුතු අතර ආයෝජන ද පරිසර නීතින්ට අනුගත වෙමින් සිදු කළ යුතුය.

පරිසර නීති සාම්ප්‍රදායික කර්මාන්තවලට අනවශ්‍ය බාධාවක් විය යුතු නැත.

ක්ෂණික තීරණ නොගෙන පරිසරය සහ දේශීය කර්මාන්ත යන දෙකම ආරක්ෂාවන පරිදි විද්‍යානුකූල ක්‍රමවේදයකට ක්‍රියා කිරිමේ වගකීම ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

ගමක සුන්දරත්වය, සංස්කෘතික වටිනාකම් මතු පරපුරට රැක දිය යුතු වේ.

අපේ රටට ආවේණික ශාක වර්ග, පෑලෑටි මෙන්ම සතා සීපාව ද රැක ගනිමින් පරිසර සංරක්ෂණ සහ සංවර්ධනය යන අභියෝග දෙකම ජය ගැනීමට සියලුදෙනා කැපවිය යුතු බව එතුමා කියා සිටියේය.

තෙත්බිම්වල වටිනාකම පිළිබඳව පාසල් දරුවන්ගේ සහ ප්‍රජාවගේ ආකල්ප වර්ධනය වෙනුවෙන් සංවිධාන කෙරුණු දීප ව්‍යාප්ත චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

-අද දෙරණ-