මෙවර නිදහස් දින සැමරුම් උළෙල ඉතා චාම් අයුරින් සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේද උපදෙස් මතයි. ඒ අනුව මින් පෙර නිදහස් දින සැමරුම්වලදි සිදු කෙරුණු අංග කිහිපයක් මෙවර ඉවත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවල උත්තමාචාර පෙළපාලිය පැය 3කට අධික කාලයක් පැවැත්වුණා. මෙවර එය පැය දෙකක් හෝ ඊට අඩු කාලයකට සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ.

ජනාධිපතිවරයා සැමරුම් උත්සවයට කැඳවා ඒමේදී පෙර ගමන් රථ සමග අශ්වාරෝහකයින් පැමිණීම සාමාන්‍යයෙන් සිදුවූ කටයුත්තක්. එහෙත් මෙවර අශ්වාරෝහකයින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පැරෂුට් ආධාරයෙන් සිදු කෙරෙන ගුවන් පිනුම් ද මෙවර සිදු නොකෙරෙනු ඇති.

නිදහස් දින සැමරුම් පෙළපාලියට එක් කෙරෙන යුද වාහන ප‍්‍රමාණය සීමා කිරීමටයි තීරණය වී ඇත්තේ.

යුද හමුදාවට අයත් රේඩාර් පද්ධතිය ඇතුළු විශාල ප‍්‍රමාණයේ යුද වාහන මින් පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලට යොදා ගැණුනා. එහෙත් මෙවර සැමරුම් පෙළපාලියට එවැනි යුද වාහන යොදා නොගන්නා බවටයි වාර්තා වුණේ. ආබාධිත සෙබළුන්ද මීට පෙර පැවති සැමරුම් පෙළපාලිවල ගමන් කළද මෙවර එම සෙබළුන් පෙළපාලියට එක් කර නොගැනීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ ප‍්‍රකාශ කළේ මෙවර නිදහස් දින සැමරුම් උළෙල සඳහා ආරාධිත අමුත්තන් 2,500 දෙනෙකු පමණ සහභාගි වනු ඇති බවයි.

මෙවර නිදහස් දින උළලේදී ජාතික ගීය ගායනා කරන්නේ කුමන භාෂාවෙන් දැයි ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වුණා. ගියවර පැවති නිදහස් දින උළලේදී ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කෙරුණා. උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ගායනා කෙරුණු ජාතික ගීය උත්සවය අවසානයේදී දෙමළ භාෂාවෙන් ගායනා කිරීමටයි කටයුතු කෙරුණේ. එහෙත් මෙවර සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර නිදහස් දිනයෙන් පසු පොදු සමා කාලයක් කි‍්‍රයාත්මක කිරීමට නාවික හමුදාව තීරණය කර තිබෙනවා. ඒ, සතියක කාලයක් සඳහායි. අදාළ කාලය තුළ නීත්‍යනුකූල හමුදා සේවයෙන් ඉවත්ව නොගිය සියළු දෙනාට යළි නාවික හමුදාවට භාර විය හැකි බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප‍්‍රකාශ කළේ.

මෙවර 72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී හෙට (04) පැවැත්වීමට නියමිතයි. සුපුරුදු පරිදි අභිමානවත් ති‍්‍රවිධ හමුදා උත්තමාචාර පෙළපාලියකින් හා විචිත‍්‍රවත් සංස්කෘතික අංගවලින් එය අලංකාර වනු ඇති.

ති‍්‍රවිධ හමුදා පෙළපාලිය සඳහා යුද හමුදා භටයින් 4,325 දෙනෙකු සහභාගිවීමට නියමිතයි. නාවික හමුදා භටයින් 868 ක් ද ගුවන් හමුදා භටයින් 815 ක් ද සහභාගිවීමටයි නියමිතව ඇත්තේ. පොලිස් නිලධාරීන් 1,382 දෙනෙකුද උත්තමාචාර පෙළපාලියට සහභාගි වනු ඇති. සිිවිල් ආරක්‍ෂක නිලධාරීන් 515 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 355 දෙනෙකුද උත්තමාචාර පෙළපාලියට සහභාගිවීමට නියමිතයි.

සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම වෙනුවෙන් 51 දෙනෙකු සහභාගි කරවීමටයි තීරණය කර ඇත්තේ.

-nethnews.lk-