කොරෝනා වෛරසය වැළඳී තිබෙන්නේ දැයි පරීක්ෂා කිරීම පිණිස කටුනායක ගුවන් තොටුපොළේ ක්‍රමවේදයක් සකස් කොට ඇති නමුත් මත්ස්‍ය නැව්වල පැමිණෙන පුද්ගලයන් එසේ පරික්ෂා කිරීම සඳහා ධීවර වරායන් තුළ වැඩපිළිවෙලක් නොමැති බව ධීවර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලන චීන නැව් හේතුවෙන් කොරෝනා වෛරසය පහසුවෙන් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට ධීවර සංගම් කිහිපයක් සැක පළ කිරීම පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

එවැනි වැඩපිළිවෙලක් නොමැතිවීම ගැන රජයේ අවධානය යොමු වී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සහ පුත්තලම දිස්ත්‍රික් බහුදින ධීවර යාත්‍රා නියමුවන්ගේ සංගමය ඇතුළු ධීවර සංවිධාන කීපයක් හා ධීවර ව්‍යාපාරිකයන්, ධීවර නියමුවන් හා ධීවරයන් එකතුව සෙනසුරාදා (ජනවාරි 25) මාරවිල දී පවත්වන ලද මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විණි.

ඉහත කී මාධ්‍ය හමුවට පෙර ධීවර සංවිධාන, ධීවර ව්‍යාපාරිකයන් හා ධීවරයන් අතර පැවති සාකච්ඡාවකදී තීරණය වූයේ වහාම පිටරට නැව් ශ්‍රී ලංකා මුහුදේ මසුන් අල්ලා ශ්‍රී ලංකාවේ ධීවර වරායන් වෙත ගෙන ඒම නැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය පියවර ගත යුතු බවය.

මෙහිදී සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ නිරතවීම සඳහා පසුගිය රජය චීනය ඇතුළු විදේශික ධීවර නෞකා 27කට අවසර දුන් අතර වත්මන් රජය පසුගිය මාස දෙක ඇතුළත ධීවර නෞකා 07 කට එසේ අවසර දී ඇති බවය.

ධීවර යාත්‍රාවක් මුහුදට දැමීම සඳහා තමන්ට නීති රීති 22ක් බලපෑවත් මෙම නැව්වලට එම නීති බල නොපාන බවද ඔහු පැවසීය. තමන් ඇතුළු බහුතර ධීවරයන් වත්මන් රජය බලයට පත් කර ගත්තේ මෙවැනි තත්වයක් ඇති කිරීමට නොවන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම කොරෝනා වෛරසය පිළිබඳව එහිදී ප්‍රධාන අවධානයට ලක් වූ අතර, එහිදී ධීවරයන් කියා සිටියේ ශ්‍රී ලංකාවට මේ මත්ස්‍ය නැව් ළඟාවීමේදී කිසිදු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් තමන් නොදුටු බව බවය.

මේ වන විට ගුවන්තොටුපොළේ එවැනි වැඩපිළිවෙලක් ඇති මුත් මේ දක්වා දික්ඕවිට ඇතුළු ධීවර වරායන්වල එවැනි සෞඛ්‍ය ආරක්‍ෂිත වැඩපිළිවෙලක් නොමැති බව ඔවුන්ගේ අදහසය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, අලුතෙන් මත්ස්‍ය නැව් හතක් එකතුවීම පිළිබඳව තමන් දන්නා අතර ඒ තීරණය ගෙන ඇත්තේ විශේෂ කමිටුවකින් බවය. ධීවරයන් මතු කරන කරුණු පිළිබඳව සොයා බලන බව ද අමාත්‍ය සනත් නිශාන්ත වැඩිදුරටත් පැවසීය.

පළමු සිසුන් පිරිස ගුවන් ගත වේ

මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, චීනයේ අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැන් යළි සිය රට බලා පැමිණෙමින් සිටින බවය.

සඳුදා සවස් යාමයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 21 දෙනෙකු ශ්‍රී ලංකාව බලා පැමිණීම පිණිස ගුවන්ගත වී තිබෙන අතර, චීනයේ සිචුආන් ( Sichuan ) සහ අනෙක් පළාත්වල සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් බස් රථවලින් ගුවන් තොටුපොල බලා රැගෙන එමින් තිබෙන බව ද නිවේදනයේ දැක්වේ.

වූහාන් ( Wuhan ) ප්‍රාන්තයේ සිටින 30 කට ආසන්න සිසුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීහු චීන බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.

චීනයේ සිට ශ්‍රී ලංකාවට ලඟා වූ පුද්ගලයන් නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්විය යුතු අතර, සිය ශරීරයේ උෂ්ණත්වය ගැන විමසිල්ලෙන් සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. අඩුම තරමින් දින 20ක්වත් මුහුණු ආවරණ පළඳින මෙන් ද ඔවුන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

මේ අතර, චීනයේ සිට පැමිණෙන මගීන් පරීක්ෂාවට ලක් කිරීම පහසුවනු පිණිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ වෙනම පර්යන්තයක් සකස් කොට තිබේ.

විශේෂඥ වෛද්‍ය උපදෙස්

මේ අතර කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්, මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර පවසයි.

රජයේ නිල පුවත් අඩවිය සමඟ අදහස් දක්වමින් ඒ බව පවසන විශේෂඥ වෛද්‍යවරයා, සාමාන්‍යයෙන් ස්වසන රෝග වළක්වා ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය වන්නේ පොදු ස්ථානවල අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වැළකීම බව ද පෙන්වා දෙයි.

සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන රෝගීන් සමාජයේ ගැවසීමෙන් වැළකී සිටීම, නිතරම දෑස් සබන් යොදා සේදීම, ජීවානුහරණය කරන ලද ආලේපනයන් භාවිතය මෙන් ම කැස්ස, කිවිසුම් යන විට නාසය වසා ගැනීම සහ පිරිසිදු අත්පිස්නා, ලේන්සු වැනි දේ භාවිතා කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර පවසයි.

උපුටා ගැනීම-BBC SINHALA