සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික කොරෝනා වෛරසය ඊයේ (27වැනිදා) දිනය වන විට ලොව රටවල් 12ක පුද්ගලයින්ට ආසාදනය වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය පැය 24ක කාලය ඇතුළත 50%කින් ඉහළ ගොස් ඇති වෛරසය ආසාදිත වූවන් චීනයෙන් පමණක් 3000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. කෙසේ වෙතත් චීනයෙන් වාර්තා වන ආසාධිතයන්ගේ නිශ්චිත සංඛ්‍යාවක් ප්‍රකාශ කළ නොහැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

චීනයෙන් පිටත වෙනත් රටවල් රැසකින් කොරෝනා වෛරසය ආසාදිතයන් වාර්තා වුවද එය සීග්‍ර ව්‍යාප්තියක් එම රටවල පවතින බව ප්‍රදර්ශනය කර නැත. ඒ අනුව චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ තායිලන්තයෙනි. ඊයේ (27 වැනිදා) එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 08 කි.

චීනයට ආසන්න රාජ්‍යයන් අතුරින් ජපානයේ මේ වන විට රෝගීන් 04 දෙනෙක් වාර්තා වේ. දකුණු කොරියාවෙන් රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇති අතර තායිවානයෙන් වාර්තාවන සංඛ්‍යවද 04කි. මැලේසියානු සෞඛ්‍ය අංශ එරටින් ආසාදිතයන් තිදෙනකු වාර්තා වන බව පවසද්දී සිංගප්පූරුවෙන් වාර්තා වන සංඛ්‍යාව 04කි. මේ අතර වියට්නාමයෙන් රෝගීන් දෙදෙනකුද, නේපාලයෙන් එක් රෝගියකුද වශයෙන් ඊයේ සවස් වන විට වාර්තා විය.

චීනයට දුර බැහැර රාජ්‍යයන් හතරකින්ද මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තාවේ. ඒ අතුරින් රෝගීන් 04ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇත. යාබද කැනඩාවෙන් එක් රෝගියකු සහ ප්‍රංශයෙන් රෝගීන් තිදෙනකුද වාර්තා වී තිබේ. මේ අතර ඊයේ (27 වැනිදා) දිනයේ ඕස්ට්‍රේලියාව තහවුරු කර සිටියේ සිය රටින් පස්වන කොරෝනා ආසාදිතයා සොයා ගත් බවයි.

– අරුණ –