එළඹෙන මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලූ දෙනා එකමුතුව හා එක්සත්ව නව සන්ධානය පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව පැවසීය.

2015 සිට විවිධ අභියෝග හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් බහුතර බලයක් නොමැතිව තම ආණ්ඩුවට විශාල සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට හැකි වූ බව පවසන වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුල මෙතරම් වැඩ කොටසක් සිදුකළ ආණ්ඩුවක් තවත් නැති බව සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (19) දින අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ පසුගිය කාලය තුල ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් දියත් කළ බවයි.

ඒ සංවර්ධනයේ නියමුවන් ලෙස ප්‍රාදේශීය දේශපාලනයේ නියැලී සිටින පිරිස විශාල සහයෝගයක් දැක්වූ බවද එතුමා පෙන්වා දෙයි.

සංවර්ධන වැඩකටයුතුවල සාර්ථකත්වය ජනතාවට අවබෝධ කර දෙමින් බිම් මට්ටමේ බලය රැක ගැනීම සඳහා සියලූ දෙනා පියවර ගත යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

වත්මන් ආණ්ඩුව තරම් මහජනතාව වෙනුවෙන් වැඩ කළ තවත් ආණ්ඩුවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම ආණ්ඩුව තරම් කළ සංවර්ධන වැඩ ගැන කතා නොකළ ආණ්ඩුවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වු අග්‍රාමාත්‍යවරයා,

“2015 සිට මේ දක්වා ජනාධිපති බලය අපට තිබුණේ නැහැ. එමෙන්ම ස්ථාවර ආණ්ඩුවක් තිබුණේ නැහැ.

එවන් පසුබිමක විවිධ අභියෝග හා අපහසුතා මධ්‍යයේ ආණ්ඩුව මෙතෙක් දුර ගෙනවිත් විශාල සංවර්ධන වැඩ කොටසක් සිදුකිරීමට අපට හැකිවුණා.

බලතල සහිත ස්ථාවර ආණ්ඩුවක් ලබාගෙන මේ වැඩකටයුතු තවත් දස ගුණයකින් වැඩිකිරීම අපේ අරමුණයි.

අප බලයට පත්වන විට විනාශ වී තිබූ රට යථා තත්වයට පත්කොට ණය මුදලක් ලබාගැනීමට හැකිවන තැනට ගෙන ඒමට වසර 02ක් ගතවුණා.

කොපමණ ප්‍රශ්න තිබුණත් ජනතාව වෙනුවෙන් අප විශාල වැඩකොටසක් සිදුකළා. රාජ්‍ය සේවක වැටුප් වැඩිකළා. සමෘද්ධි සහනාධාරය වැඩි කළා.

සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන්කර එම අංශ දියුණු කළා. මහා මාර්ග, නිවාස, යටිතල පහසුකම්, රැකියා ලබාදීම් ඇතුළු විශාල වැඩකොටසක් සිදුකිරීමට අපට හැකිවුණා.

එළඹෙන මැතිවරණය අපට ජයග්‍රහණය කළ හැකියි.

මහජන නියෝජිතයින් වශයෙන් ඔබ දැන් සිටම ජනතාව අතරට ගොස් අප සිදුකළ සහ ඉදිරියේ සිදුකරණ වැඩකටයුතු පිළිබදව දැනුවත් කර මූලික පියවර ආරම්භ කරන්න.

අප සියලූ දෙනා එකමුතුවී සන්ධානය ඇති කර එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කර අපේ බලය තහවුරු කරමු.”

Leave a Reply

  Subscribe  
Notify of