තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ජනපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාතාල නායකයකු වන විදුරංග නොහොත් විට්ටා පෙරේදා දහවල් (24 වැනිදා) සිර ගෙදර තුළ දී සයනයිඩ් විද ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.

එල්ටීටීඊ ඩයස්පෝරාව විසින් පාතාල නායකයකු වන විදුරංග යොදාගෙන ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට රාජ්‍ය බුද්ධි අංශයට හා යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරුවලට අනුව ඔහු අත්අඩංගුවට පත් වී කොළඹ අපරාධ කොට්ඨාස භාරයේ පසුවිය.

ඔහුට ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු සෙල්විගේ පුතුන් දෙදෙනා සයනයිඩ් පිර වූ සිරිංජරයක් බන්ධනාගාරයේ දී විදුරංගට එන්නත් කිරීමෙනි. ඒ අවස්ථාවේ දී එන්නත් කටුව කැඩී යෑමෙන් ඔහුගේ දිවි බේරී ඇත.

කුඩු සෙල්විගේ පුතුන් දෙදෙනා සිර ගෙදරදී විදුරංග ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇත්තේ ඔහු ජනපති ඝාතන සැලසුම් ආරක්ෂක අංශවලට හෙළිකර ඇති බවට ලද තොරතුරුවලට අනුව බව සඳහන්ය. කුඩු සෙල්විගේ පුතුන් දෙදෙනා එල්ටීටීඊය සමග සබඳතා පැවැත් වූ බව මින් පෙර හෙළිදරව් වී තිබුණි.

මෙතෙක් රැඳවුම් නියෝග මත රඳවා තැබූ විදුරංග අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මීට දින දෙක තුනකට ඉහතදීය. විදුරංගට සයනයිඩ් දී ඝාතනය කිරීමට උත්සාහ කිරීමත් සමගම ජීවිත ආරක්ෂාව පතා ඔහු පෙරේදා සිට මහර බන්ධනාගාරයට යවා ඇත.