ලොව සංචාරක ගමනාන්ත අතර දැඩි ආකර්ෂණයකට ලක්ව ඇති බදුල්ල ඇල්ල නගරය අද වන විට කැළි කසළවලින් පිරී ගොස් තිබේ.

මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් මහත් අපහසුතාවකට පත්ව ඇති අතර සංචාරක කර්මාන්තයටත් එල්ල කර ඇත්තේ දැඩි බලපෑමකි.

ලොව පුරා සංචාරකයන් සිය සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමේදී ඌව පළාතේ ඇල්ල ප්‍රදේශයට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර පරිසරයකට උරුමකම් කියන ඇල්ල නගරයට දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙයි.

දැඩි සංචාරක ආකර්ෂණය නිසා බොහෝ විට ඇල්ල දුම්රිය ස්ථානයේ ද දක්නට ලැබෙන්නේ මෙවන් තත්වයකි.

නමුත් අපට අද කතා කරන්නට සිදුව ඇත්තේ ඇල්ලේ සංචාරක ආකර්ෂණය නොව එම සංචාරක ආකර්ෂණයට හානි කරන කැළි කසළ අර්බුදය ගැනයි.

සුන්දර ඇල්ල නගරයේ අද, තැන තැන කසළ ගොඩවල් දක්නට ලැබෙයි.

ඇල්ල නගරයේ දිනකට අවන්හල් 800කින් පමණ කැළි කසළ බැහැර කෙරෙනවා.

ඒවා සහ නිවෙස්වල කැළි කසළ එක් රැස් කෙරෙන්නේ කිතල්ඇල්ල කසළ අංගනයේ.

එහි ධාරිතාව ඉක්මවා ඇති බැවින් ඉදිරි දින 10ක පමණ කාලය තුළත් කසළ එකතු කිරීම නතර කිරීමට සිදුවන බවයි ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා පවසයි.

සංචාරක ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයේ ප්‍රබල හැරවුමක් බවට පත් කරගැනීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා බලධාරින්ට උපදෙස් ලබා දී තිබියදී ඇතැම් රාජ්‍ය ආයතනවල මන්දගාමී බව එම සැලසුම්වලට එල්ල කරන්නේ දැඩි පහරකි.

ඇල්ල සංචාරක පුරවරයේ සුන්දරත්වය ආරක්ෂා කරගැනීමට බලධාරීන්ගේ උනන්දු නොවන්නේ නම් මෙරට සංචාරක ක්ෂේත්‍රය ගැන ලොවට යන සෘණාත්මක අදහස පිළිබඳ වගකීම භාරගන්නේ කවුරුන්ද?