ලොව මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කී කගේන්ද්‍රා තාපා මාගර් පසුගිය සිකුරාදා (17වැනිදා) නේපාලයේ රෝහලක දී මරණයට පත්විය. සෙන්ටිමීටර 67.08 ක් (අඩි 2 අඟල් 2 ක්) උසින් යුතු වූ ඔහු මිය යන විට 27 වැනි වියෙහි පසු වූ බැව් වාර්තා වෙයි. කගේන්ද්‍රා මියගොස් ඇත්තේ නියුමෝනියා රෝගයෙන් බැව් ඔහුගේ පවුලේ ඥාතීන් මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි.

ලොව මිටිම මිනිසුන් නම් කිරීමේ දී ගිනස් ආයතනය මිණුම් දඬු දෙකක් භාවිත කරයි. ඒ ඇවිදීමේ හැකියාව ඇති සහ එසේ කළ නොහැකි අය වශයෙනි. කගේන්ද්‍රා මිටිම මිනිසා ලෙස සැලකුණේ ඇවිදීමට හැකි අය අතරිනි. ඇවිදීමට හැකියාව නැති අය අතරින් එම වාර්තාවට හිමිකම් කියන්නේ පිළිපීන ජාතිකයෙකු වන ජුන්රේ බලාවින් ය. ඔහුට තව කෙනෙකුගේ උදව්වෙන් තොරව ඇවිදීමට හෝ නැගී සිටීමට හෝ හැකියාවක් නැත. බලාවින් ගේ උස සෙන්ටිමීටර 59.93 (අඩි 1 අඟල් 11) කී.

කාලයකට පෙර කගේන්ද්‍රා මුල් වරට කරළියට ආවේ නේපාලයේ සංචාරක වෙළෙන්දෙකු නිසා බව සඳහන් වේ. ඔහු කගේන්ද්‍රා තැනින් තැන කැඳවාගෙන යමින් මිනිසුන්ට සහ ළමුන්ට ඔහු සමග ඡායාරූප ගැනීමට සලස්වා එයින් මුදල් උපයා තිබේ. ඔහු ගැන ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඒ හරහාය.