මුදල් ගෙවා ලබාගන්නා අධ්‍යාපනයද ගුණාත්මක විය යුතුයි

රට තුළ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනවා සේම දරුවන්ට මුදල් ගෙවා ගුණාත්මත අධ්‍යාපනයක් ලබා ගැනීමේ පහසුකම්ද පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොතලාවල විශ්ව විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට අද එක් වෙමින්.

මේ අතර පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සරසවි සිසුන්ට නොගෙවූ මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ලබන සඳුදා වන විට ගෙවීමට රජය තීරණය කර ඇත.

ඒ සරසවි සිසුන් හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

මහපොළ සහ ශිෂ්‍යධාර ඇතුළු ඉල්ලීම් කිපයක් මුල්කර ගනිමින් සරසවි සිසුන් විරෝධතා පෙළපාලියකින් ඊයේ ජනාධිපති කාර්යාල දක්වා පැමිණියේය.

එය සැලවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නේ කිසිදු බාධාවකින් තොරව එම සිසුන්ට ජනාධිපති කාර්යාලය අසලට පැමිණීමට ඉඩ සලසන ලෙසයි.

එම අවස්ථාව වන විට ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා කාර්යාලයෙන් පිටත ,පෙර යොදාගත් රාජකාරි කටයුත්තක නිරතව සිටියද සිසුන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති අතිරේක ලේකම්වරයාට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

සිසුන්ගේ ඉල්ලීම් එම අවස්ථාවේදීම ජනාධිපති ලේකම්වරයාට දැනුම්දී උපදෙස් ලබාගැනීමට මෙම නිලධාරින් කටයුතු කළේය.

ඒ අනුව නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල නොගෙවූ මහපොළ සහ ශිෂ්‍යාධාර හිඟ මුදල් ලබන සඳුදා ගෙවීමට තීරණය වී ඇත.

එමෙන්ම දේශන සඳහා පැමිණීම සියයට අසූව සම්පූර්ණ නොකළ සිසුන්ට මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ ආධාරය සම මට්ටමට ගෙන ඒම, ශිෂ්‍යාධාර පිරිනැමීමේදී සලකා බැලෙන දෙමාපිය ආදායම ලක්ෂ 07 දක්වා වැඩිකිරීම, සබරගමුව විශ්ව විද්‍යාලය පිළිබඳ ගැටලු, ඇතුළු යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීම ගැනද එහිදී අවධානය යොමුවුණි.

පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට හෝ දෙසතියකට වරක් සිසුන්ගේ අභිමතය පරිදි සාකච්ඡා කිරීමටත් මෙහිදි යෝජනා වී ඇත.

ජනාධිපති අතිරේක ලේකම්වරයා,උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණි.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි සිසුන් සාකච්ඡාවෙන් පසුව සාමකාමීව විසිර ගියේය.