රාජිතගේ දෙවෙනි පුතා තරුණියක් පැහැරගත් නඩුවටත් , රාජිතගෙන් බලපෑම්

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයඳුම්පතක් ගොනු කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය නීතියට පටහැනිව නිකුත් කර ඇති බවට කරුණු දක්වමින්.

පසුගිය දෙසැම්බර් 30 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මන්ත්‍රීවරයාව ඇප මත මුදා හැරියේය.

එලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ අද (08) ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළ බවත් , රාජිත සේනාරත්න මහතාගේ ඇප අවලංගු කරන ලෙස අතුරු ආඥාවක් ඉල්ලූ බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළේය.

එමෙන්ම ප්‍රතිශෝධන ඇප අයදුම්පත විභාග කර අවසන් වන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවේ රඳවා තබන ලෙසද ඉල්ලා තිබේ.

මේ අතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ දෙවැනි පුත්‍රයා වන එක්සත් සේනාරත්න මහතා තම දියණිය බලහත්කාරයෙන් රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු නීතිමය කටයුතුවලට රාජිත සේනාරත්න මහතාගේ බලපෑමක් සිදුව ඇති බවට එම තරුණියගේ පියා වන ගාමිණී රණසිංහ මහතා චෝදනා කරයි.

ඒ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන වෙනත් රෝගියකුගේ සුවදුක් බැලීමට එම රෝහල වෙත පැමිණි අවස්ථාවේදීයි.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබියදී මන්ත්‍රීවරයා නාරාහෙන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් විය.

ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් දෙසැම්බර් 27 වැනිදා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේය.