ධාවනයට නුසුදුසු සියලූම ලංගම බස් රථ ඉවතට

ධාවනයට නුසුදුසු තත්වයේ බස්රථ ඉවත් කර, නව බස්රථ ආනයනය කර ග්‍රාමීය මාර්ග සඳහා යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා මහතා පැවසීය.

ලංකා ගමනා ගමණ මණ්ඩලයට අයත් සියලු බස්රථ මෝටර් රථ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහායෙන් තත්ව පරීක්ෂණයකට ලක්කරන බවද ඒ මහතා කීය.

මඩොල්සිම සිදුවූ බස්රථ අනතුර නිරීක්ෂණය කිරීමට පැමිණි රණවක මහතා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ කීවේය.

“මේ රටේ ජනතාව වැඩිම සේවාවයක් ලබාදෙන්නේ ලංගම බස්රථයි. විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ගවල බස්රථ ධාවනයට පුද්ගලික අංශයට වඩා ලංගම බස් සේවාවන් කැපවී තියෙනවා . පුද්ගලික අංශ බස් දුවන්නේ ලාබ ලැබෙන මාර්ගවල පමණයි. එහෙත් ලාබ ලැබීමේ පරමාර්ථය නොව ජනතාවට ගමන්පහසුව ලබාදී ලංගම අරමුණයි.

අනතුර සිදුව ඇත්තේ වසර 10 ක පමණ කාලයක් මේ මාර්ගයේ බස්රථ ධාවනය කළ රියදුරකු අතිනුයි. මේ බස්රථයද එතරම් පැරණි එකක් නොවෙයි. කෙසේ නමුත් මේ අනතුරට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. එම පරීක්ෂණ වාර්තාව අනුව කටයුතු කරනවා.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ අය වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාර ලබාදීමට කටයුතු කළා. රක්ෂණ වන්දි ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා. එමෙන්ම සියලු තුවාල කරුවන් වෙනුවෙන් ද අවශ්‍ය සහන සැලසීම පිණිස විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ලංගම බදුල්ල ඩිපෝවේ නිලධාරින්ට උපදෙස් දුන්නා” යැයිද කීය.

මඩොල්සිම මාර්ගයේ ධාවනය වූ බස්රථය පෙරළී ඊට පහලින් ඇති මහ දෝව වත්තෙ මාර්ගයටද උඩින් විසිවී ගොස් අඩි 234 ක මහා ප්‍රපාතයට වැටී තිබු බවත්, ඒ සමගම බස්රථයේ වහල ගැලවී මගීන් පිටතට විසිවී ඇති බවත් පොලිසිය කළ විමර්ශන වලදී අනාවරණය වූ බව බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය .

බස්රථයේ සුන්බුන් යන්ත්‍ර අනුසාරයෙන් උඩට ඇද මඩොල්සිම පොලිසියට රැගෙන යාමට ලංගම බදුල්ල ඩිපෝවේ කාර්මික අංශය කටයුතු කළේය.