විපතට පත් ඕස්ට්‍රේලියානුවන් සමඟ ශ්‍රී ලාංකිකයින් අත්වැල් බැඳ ගන්නවා -ජනපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා සමග අද (07) දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. ඒ එරට ඉතිහාසයේ හටගෙන ඇති දරුණුතම ලැව් ගිනි විපතෙන් සිදුව ඇති විනාශය ගැන සිය සංවේගය පළ කිරීමටයි.

එහිදී ජනාධිපතිවරයා ජිවිත අහිමිවූ පවුල්වල ඥාතින් හට සිය ශෝකය පළකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

2004 වර්ෂයේදී බලපෑ සුනාමි ව්‍යවසනය සහ වරින් වර ඇතිවන ගංවතුර ඇතුළු ස්වභාවික විපත්වලට මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඕස්ට්‍රේලියානු ජනතාව මේ මොහොතේ අත්විදින වේදනාව මනාව තේරුම් ගැනීමට හැකි බව ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ ආපදා අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තේ තොගයක් ද පරිත්‍යාග කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

වසරේ මේ කාලයේදී ලැව් ගිනි හටගැනීම ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවර හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් පෙර නොවූ තරම් බියකරු සහ විනාශකාරී තත්වයක් ඇතිවිය.

ඊට ගොදුරු වූ තිස් දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ අතර සහන සේවකයින්ද වන බවයි වාර්තා වන්නේ. ගින්නට හසුවීමෙන් මියගිය සතුන් සංඛ්‍යාව මිලියන 05කට අධික බවයි වාර්තා වන්නේ. උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල ලැව්ගිනි තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවට අනුමාන කර ඇත.

ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්තවලට මේ විපත බලපා ඇතත් වැඩිම විනාශය සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටයි. වනාන්තර ගිනි ගැනීමෙන් පහළ අවකාශයේ වායුව බෙහෙවින් දූෂණය වී ඇත.