ආඩම්බරයි.. වනජීවී සංචාරයට ආසියාවේ හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

ලෝකයේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකාවක් වන CNN නාලිකාවේ ‘CNN ට්‍රැවල්’ විසින් ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත නගර හිමි රටවල් 20 අතරට ශ්‍රී ලංකාව නම් කර ඇත.

එම නාලිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක් මෙලෙස නම් කර තිබේ. එහි ශ්‍රී ලංකාවේ සංචාරක වැදගත්කම පිළිබඳවද සඳහන් කර තිබේ.

දකුණු ආසියානු කලාපයේ දූපත් රටක් වන ශ්‍රී ලංකාව සුන්දර මෙන්ම වසර 2,000ක ලිඛිත ඉතිහාසයක් හිමි, ඕනෑම වේලාවක සංචාරය කළ හැකි රටක් බවත් පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවද ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තයක් බවත් ‘CNN ට්‍රැවල්’ සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් ඉතාම සුන්දර බවත් එහි ඉතිහාසය ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ සංචාරය කිරී‍ෙමන් වටහාගත හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ.

12 වැනි ශතවර්ෂයේ රටේ අගනුවර වූ පුරාණ නගරයක් වූ පොළොන්නරුවේ පිහිටි ඓතිහාසික බෞද්ධ විහාරස්ථානද නැරඹිය යුතුම ගමනාන්ත ලෙස දැක්වේ. තවද සීගිරිය පර්වතය පිළිබඳවද එහි සඳහන් කර තිබේ. ‘ලෝකයේ අටවන ආශ්චර්යය’ ලෙස හඳුන්වනු ලබන යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිගිරිය යනු ශ්‍රී ලංකාවේ සංචාරකයින් වැඩිපුරම නරඹන ලද ස්ථානයක් බවද ‘CNN ට්‍රැවල්’ කියා තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව මෙම වාර්තාවෙහි චිලි ලේක්, ඩෙන්මාර්කයේ කොපන්හෙගන්, මළ මුහුද, ඩොමිනිකාව, එස්තෝනියාව, අයර්ලන්තයේ ගල්වේ, ජැ‍ෙමයිකාව, කිරිගිස්තානය, කොයිෂු – ජපානය, නව කැලිඩෝනියාව, පැරටි සහ ඉල්හා ග්‍රෑන්ඩ්, බ්‍රසීලය, රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග්, ටියුනිසියාව, බ්‍රිටිෂ් කොළොම්බියාවේ වැන්කුවර් අයිලන්ඩ්, ඇමෙරිකාවේ වෝෂින්ටන් සහ වයොමිං, ජර්මනියේ වුපර්ටල්, සැම්බියාව ඇතුළු රටවල් සහ නගර කිහිපයක් නම් කර ඇත.

මේ අතර වනජීවී සංචාරක කටයුතු සඳහා ආසියාවේ හොඳම රට බවට ශ්‍රී‍ ලංකාව පිළිගෙන තිබේ.

ආසියාවේ ප්‍රමුඛතම ප්‍රකාශන 10ක් මඟින් ඒ පිළිබඳව සොයා බලා තිබේ. ක්වාලාලම්පූර් නුවරදී මෙම ගෞරවය ශ්‍රී‍ ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා වෙත පිරිනමා ඇත. ආසියාවේ රටවල් සම්බන්ධයෙන් සිදු කළ විශේෂ සමීක්ෂණයකින් අනතුරුව මෙහි පළමු ස්ථානය ශ්‍රී‍ ලංකාවට හිමිව ඇත.

[ෆර්හාන් නිසාම්දින්] [චානක ඉනෝජ්]