පළමු වතාවට නිවසක් ගන්නා අයට දිගු කාලීන සහ අඩු පොලියට ණය දෙන්න..ජනපතිගෙන් තීන්දුවක්

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

එහෙයින් පවතින නීති රීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි උපරිමයෙන් අවම කිරීම රජයේ වගකීමක් බව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කර සිටියේ.

සැලසුම් අනුමැතිය සදහා පළාත් පාලන ආයතන වෙත බලතල ලබාදීම සහ සෙසු ආයතන කඩිනමින් ඊට අදාළ ප්‍රතිපාදන සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබුවා. දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබඳ දැනුමක් ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේ. අනුකූලතා සහතිකය දිනකදී ලබාදීම අනිවාර්ය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

පළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහන පොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක් විය.

සැලසුම් අනුමත කිරීමේ දී එකම නීතිය ක්‍රියාත්මක නොකොට භූ විෂමතා සැලකිල්ලට ගෙන නිර්දේශයන් ලබාදීම කෙරෙහි ද අවධානයට ගනු ලැබුවා. පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතින් රාජ්‍ය ආයතන මගින්ම සිදු කර ආයෝජන මණ්ඩලයට දැනුම්දීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබුවා. එමගින් විදෙස් ආයෝජකයින් දිරි ගැන්වෙන අතර ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට ද අවස්ථාව උදාවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරත් සඳහන් කර සිටියේ.

රට පුරා ඇති සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි බව ද ජනාධිපතිතුමා කියා සිටිය අතර තලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය සාකච්ඡා කරනු ලැබුවා.

කැළි කසළ, කාබනික පොහොර බවට පත් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් ඒ සඳහා උපරිම ලෙස තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා ලෙසද මෙහිදී ජනාධිපතිතුමා අදාළ අංශ දැනුවත් කර සිටියා.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ දායකත්වය ලබා ගනිමින් ගොඩගැසී ඇති වැලි නිධි ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වැලි මිල පහත දැමීමට ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබුවා. එමඟින් ප්‍රදේශ රැසක් මුහුණ දෙන ගංවතුර තර්ජනයට ද විසඳුම් ලබාදීමට හැකි බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන ලෙසත් එහිදී බේරේ වැවට අපද්‍රව්‍ය එකතු කෙරෙන බවට හඳුනාගෙන ඇති ස්ථාන වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා