සජිත්ට එජාප නායකත්වය නොලැබුනොත් වෙනම සන්ධානයකින් මැතිවරණයට

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුනහොත් ඉදිරි මහමැතිවරණය සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර​ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම නව සන්ධානය සඳහා සහයෝගය ලබාදෙන බවට එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයෝ එකඟතාවය පළ කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් පසුගිය (03) වැනිදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඒ මහතාගේ නිවසේදී පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ මහතා පැවැසීය.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උප නායක රවී කරුණානායක තලතා අතුකෝරල , මලික් සමරවික්‍රම , රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවට පෙර එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක , මනෝ ගනේෂන් , පී. දිගම්බරම් , රවුෆ් හකීම් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවලට පෙර එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්වරු 5.00 ට පමණ මලික් සමරවික්‍රම මහතාගේ නිවසේ රැස්ව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ස් දෙනෙකු පමණ මේ සඳහා එක්ව සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය නොලැබෙන්නේ නම් වෙනම තරග කළ යුතු බව ඔවුන් සියලු දෙනාගේ ඒකමතික තිරණය වූ බවත් රංජිත් මද්දුමබන්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.

නිමල.කොඩිතුවක්කු