දුම්බර කඳු අස්සේ සැඟවුණු ශ්‍රී ලංකාවේ පිහිටි “දකුණු ආසියාවේම “පොඩිම ගම්මානය

බොහෝ ඉසව් අතහැර දැමුණු නමුත් ඉන් බොහොමයක් පිහිටා තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් කොටසේ විය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් රක්ෂිත ප්‍රදේශය නිතරම තෙත් සහිත කාලගුණයෙන් යුක්ත වූ අතර නිතරම පසේ තෙත් බව සේම ජල අංශු වැඩියෙන් තිබුණි. මීදුම පිරුණු වලාකුළු සහිත පරිසරයක් මහනුවරට තිබුණ ද මාතලේ දිස්ත්‍රික්කයට තිබුණේ බොහෝ විට ඊට වෙනස් කාලගුණයකි. එසේම මාතලේ දිස්ත්‍රික්කය තුළ තවත් විශේෂත්වයක් තිබුණි. එහි ලංකාවේ කුඩාම ගම්මානය පිහිටා තිබීමයි.

මහනුවර සිට ඒ-9 මාර්ගය ඔස්සේ මාතලේට ළඟාවූ අප මාතලේ සිට රත්තොට පාරට පිවිස එහි කි.මී. 20ක පමණ දුරක් ගොස් පිටවල හන්දියට ළඟාවූයේ දුම්බර ප්‍රචණ්ඩම සුළං කපොල්ල වන රිවස්ටන් හෙවත් බටදඬුකපොල්ල පසුකරගෙනය. හරිත වර්ණයේ විවිධ ප්‍රභේදවලින් සිත්තම් වූ වන පියස අතරින් පතර මීදුම් සළු ඔබ මොබ යන අයුරු අප උදෑහැන්කෙම දැකගත්තේ මඳ සීතලක්ද විඳ ගනිමිනි.

මාතලේ දිස්ත්‍රික්කය තුළ පැතිරුණු නකල්ස් මිටියාවතේ තවත් කඳු ශිඛර රාශියක් ඇති අතර පතන් ද වැඩි ප්‍රමාණයක් ඇත්තේ මෙම ඉසව්ව තුළයි. හිමිදිරියම අප පිටවලපතනට ළඟාවූ අතර ඒ එන මග පුරාවට අපට වනපෙතේ සුන්දරත්වය ඉතා හොඳින් දැක ගැනීමට ලැබුණි. පසෙකින් මානිගල, රිවස්ටන්, කරගහතැන්න, ගම්මඩුව, පතන්ගල, කිරිගල්පොත්ත, ගෝනගල, කවුඩාගල වගේම ඉතා ඈතින් ගොම්බානියා, යකුන්ගේගල, දූවිලිඇලි, වමාරපුගල, ලකේගල් ත්‍රිත්වය හා තුන්හිස්ගල ඇතුළු ප්‍රදේශ රැසක් අපි දැක ගතිමු.
පිටවල හන්දියට ළඟවූ අප රත්කින්ද ගමට යන මාර්ගයට හැරවූවෙමු. එම මාර්ගය තරමක් පටුය. නමුත් පැහැදිලිය. මුල් කොටසේ මාර්ගය වැටී ඇත්තේ වනපෙත අතරින්ය. එහිදී දිය දහරා කිහිපයක් දක්නට ලැබුණද තරමක වියළි කාලගුණය හේතුවෙන් ඒවා සිඳී ගොස් තිබුණි. කෙසේ නමුත් අප ක්‍රම ක්‍රමයෙන් මාර්ගයේ ඉදිරියට යනවිට පිටවල ග්‍රාමය හමුවිණි.

එය ද පසුකර ඉදිරියට යත්ම අප ළඟ වූයේ ප්‍රධානතම ග්‍රාමයක් හා මංසන්දියක් වන රත්කින්දටයි. මෙහිදී අපට සිහිවූයේ අතීතයේ තිබූ පැරණි අවදානම් පාලම වෙනුවට විශාල නව පාලමක් තිබෙනු දැකීමය. නමුත් ඇතැම් විට තවමත් මෙම ඉසව්වේ වෙසෙන ගැමියන් තම දෙපා වාරුවෙන් තමන්ට අවශ්‍ය ස්ථානවලට ගමන් කරනු ලබයි.

රත්කින්ද ග්‍රාමයෙන් ඉදිරියට ඇදුණු අපි විශාල කුඹුරු යායක් අසලට පැමිණියෙමු. ඊට පෙර නව පාලම අසලදී අප තෙල්ගමු ඔයට පිවිසියේ වැද්දාපැනිඇල්ල නැරඹීමටය. තෙල්ගමු ඔයේ ආරම්භයේ සිටින සුන්දරියක් වන මෙම දියඇල්ල ඉතා කුඩාය. නමුත් මෙම දියවර වැසි සමයට ක්ෂණිකව ජල පරිමාව වැඩිවී මිනිස් බිලි ගැනීමට තරම් ප්‍රබලය.

කුඹුරු යාය ඉදිරියටම අප දුටුවේ මීට බොහෝ කාලයකට පෙර අප විසින් තරණය කළ කන්දකි. එය අතීතයේ ගොවිතැන් වගාවේ යෙදුණ ගොවියෝ වෙලාව තීරණය කිරීමට යොදාගත් ස්වභාවික පිහිටි ඉසව්වකි. එය මානිගලයි. ගල මධ්‍යයේ පහළ බෑවුමට වන්නට පිහිටි මෙම ස්ථානය අසලට ළඟාවිය නොහැකිය. නමුත් අපට මානිගල තරණය කිරීමට පුළුවනි.

සුන්දරතම වල්පොලමුල්ල කෙත

මානිගල යනු කන්දක් වුවද එහි ඇතැම් විට එය අලින් රජ කරන ඉසව්වකි. මාතලේ දිස්ත්‍රික්කයේ ඉලුක්කුඹුර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය පිහිටා ඇති මෙම ඉසව්වේ පිහිටි මානිගල යනු ඉතා ප්‍රසිද්ධ සංචාරක ආකර්ශනය දිනාගත් ස්වභාවික සංචරණ මාර්ගයකි. මානිගල තරණය සඳහා ඉලුක්කුඹුර වන සංරක්ෂණ කාර්යාලයෙන් අවසර පත්‍රයක් ලබාගත යුතුය. ඉන්පසු සුදුසුකම් සහිත මාර්ගෝපදේශකයකු සමග මානිගල ස්වභාවික සංචරණ මාර්ගය ඔස්සේ කන්ද තරණයට යා යුතුය. මෙහිදී කන්ද තරණය කරන අයවලුන් අනිවාර්යෙන්ම මාර්ගෝපදේශකයකු ගත යුතු වන්නේ කඳු මුදුනේ නිතරම වල්අලි ගැවසෙන බැවිනි.

මානිගල කන්ද පිහිටියේ පොකුරු කඳු පන්තියකින් වෙන්වය. ගොම්බානියා සිට පහළට සුදුගල, රන්මැටිය සහ ලාහුමානාගල කඳුවැටි ඔස්සේ අැටන්වල සහ වල්ගෙලමුල්ල වෙන් කරමින් තිබෙන කඳු වැටි​යේ අවසානය කපොල්ලකි. එම කපොල්ල පිහිටියේ මානිගල අතරය. මල්කිරිගොඩ කපොල්ල නම් වූ එම ස්ථානය හරහා ඇටන්වල ස්ථානයේ පිහිටි වනගත මාර්ගයකින් පවා තරණය කිරීමට පුළුවනි.

ඇටන්වල ග්‍රාමය වර්තමානය වනවිට මෙම ඉසව්වේ කෙළවරින්ම පිහිටි අතිශය සුන්දරතම ගම්මානයකි. නමුත් අද දවසේ ගමනාන්තය වන ලංකාවේ පිහිටි කුඩාම ගම්මානය වන වල්පොලමුල්ල පිහිටියේ මීට ටිකක් එහායිනි. එය දළ වශයෙන් කි.මී. 4ක පමණ දුරකිනි. අතීතයේ පිහිටි මෙම වල්පොලමුල්ල ගම්මානය තුළ නිවාස ත්‍රිත්වයක් පමණ තිබූ නමුත් අද වනවිට එය එක් නිවසකට සීමා වී ඇත. ඇටන්වල සිට දූවිලි ඇලි කරා යන සම්මත වන සංරක්ෂණ සංචරණ මාර්ගය ඔස්සේ අපි ගමන ඇරඹූවෙමු.

දූවිලි ඇලි යනු දාමයකි. එහි දියඇලි 12ක් පමණ ඇති අතර එය පිහිටියේ නකල්ස් වනපෙතේ ගැඹුරේ මධ්‍යස්ථයට වන්නටය. එම නිසාම එහි ළඟාවීම බොහෝ දුෂ්කරය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇටන්වල මාර්ගය හා රඹුක්ඔලුව මාර්ගය ලෙස මාර්ග 2ක් මගින් පිවිසුම් අවසර ලබාදී ඇති අතර අප මේ පියමනින්නේ ඇටන්වල මාර්ගයෙනි.

වනපෙත මැදින් හොඳ පළලින් යුත් අඩි මාර්ගය ඔස්සේ අප ඉදිරියට ඇදුණු අතර මඳ දුරක් යනවිට වනයට පිවිසීමට පෙර සිදුකළ යුතු වතාවත් කර අප ළඟාවූයේ වෙහෙරගල නම් ඉසව්වටය. එහි හොඳින් විවේක ගත හැකි ලෙස ඉඩකඩ තිබූ අතර විශාල ගස් වැල් සහ මුල් එම ස්ථානය අලංකාර කර තිබුණි.

ඉන්පසු අප ළඟා වූයේ තණ බිස්සක් මෙන් ඇති විවෘත ප්‍රදේශයකටය. එය සත්‍ය වශයෙන්ම වැවකි. වැසි කාලයට පමණක් සමස්ත ප්‍රදේශයම පිරෙන්නට ජලයෙන් වැසෙන නමුත් ඉතිරි බොහෝ කාලයට මෙය සාමාන්‍ය තණ පිට්ටනියක් ලෙස පවතියි. මෙය වල්පොළමුල්ල වැව ලෙස හඳුන්වන අතර අතීතයේ ප්‍රදේශයේ ගවයන් තණ කෑමට මෙහි පැමිණ ඇත. වල්පොළමුල්ල වැව අසල සිටින විට පසෙකින් විශාල කඳු පොකුරක් දැකගත හැකිය. එය එක යායට පිහිටි කඳු වැටි ගණනාවකි. රත්මැටිය. ලාහුමානාගල, සුදුගල පිහිටා ඇති අතර ඉන් ඔබ්බට නකල්ස්හි උසම කන්ද වන ගොම්බානියත් තෙවැනි උසම කන්ද වන යකුන්ගේගෙලත් දකින්නට පුළුවනි.

එය අතිශය සුන්දර දර්ශනයක් වන අතර වැව ජලයෙන් පිරුණු දාට එය හරහා ගමන් කරමින් සුන්දර අත්දැකීමක් ලබාගත හැකිය. වැවත් පසු කරගෙන අප තව තවත් ඉදිරියට ගියේ හොඳින් පැහැදිලිව තිබූ අඩි මාර්ගය ඔස්සේය. එසේ යනවිට අපි වල්පොළමුල්ල නම් වූ පැරණි ග්‍රාමයට ඉතා අාසන්න බව දුටුවෙමු.

ගමේ ඉතිරිවූ එකම නිවෙස

වල්පොලමුල්ලේ පරිවාර කඳු

එ් තවමත් බොහොම අමාරුවෙන් ඉතිරිව ඇති එකම නිවස දුටු හෙයින්. කටු මැටි බිත්තියෙන් වරිච්චි කරන ලද නිවස ගරාවැටී ඇත. උළු සෙවිලි කළ වහලය ද වසාදැමූ ජනෙල් දොරවල් ද සමගින් බිත්ති පුරා පරඬැල් වැටී ඒ අවට වනය විසින් ගිල ගැනීමට ඉතා ආසන්න බව අපි දුටුවෙමු.

අතීතයේ මෙහි මිනිසුන් වාසය කරන තිබුණි. ඔවුන් තම කුඩා ග්‍රාමය තුළ හේන් ගොවිතැන කරමින් සතුටින් කල් ගෙවමින් සිටියා විය හැක. නමුත් දුෂ්කරතාවය උත්සන්න වනවිට වල්අලි ප්‍රහාර ඉඳහිට ලැබෙන විට තවදුරටත් එහි විසීමට ඔවුනට නොහැකි විය. එම නිසාම ඒ ගැමියන්ට ලංකාවේ කුඩාම ගම වන සේම අතිශය සුන්දර මිටියාවතක පිහිටි මෙම වල්පොලමුල්ල ග්‍රාමය හැරදමා යන්නට සිදුවුණි.

මාස ගණනක් පරණ අලි වසුරු කිහිපයක් අපට දකින්නට හැකි වූ අතර තවත් අපිට සැරිසරන විට අප ළඟාවූයේ ලංකාවේ සුන්දරම ගොයම් යාය තිබූ ස්ථානයටයි. අතීතයේ අස්වැද්දූ මේ ගොයම අද නිහඬය. එය පිහිටියේ ලංකාවේ ලස්සනම ස්ථානයේ වග සංචාරකයකු ලෙස අපට කිව හැක. මන්දයත් කුඹුරු යාය නිමවන ඉසව්වේ හෙළ පිහිටියේ නකල්ස් රක්ෂිතයේ සුන්දරතම දර්ශන පථය සමගිනි.

ගොම්බානිය, යකුන්ගේගල, ලාහුමානාගල, තුන්හිස්ගල, දූවිල ඇලි දාමය, ගිනිකෙළිය පතන, ඉලුක් පතන, අස්වැද්දුම පතන, ලකේගල, වමාරපුගල, ගෝනගල ආදී කඳු වැටි රාශියක් අංශක 240ක පමණ වපසරියක් තුළ දක්නට ලැබේ. මෙම ස්ථානයට දූවිල ඇලි දාමය සම්පූර්ණයෙන්ම දැකගත හැකි අතර එවිට යායුතු දුර වටහා ගත හැකිය. දූවිල ඇලි සොයා යාමට මෙම කුඹුරේ සිට කි.මී. 10ක් පමණ යා යුතු අතර එහිදී කඳු වැටි කිහිපයක් පසු කිරීමට සිදුවේ.

වල්පොළමුල්ල සත්‍ය වශයෙන්ම අතිශය සුන්දර ග්‍රාමයකි. නමුත් විවිධ දුෂ්කරතා හා හේතු නිසා මෙම ගම්මානය දැන් අතහැර දමා ඇත. අතීතයේ මෙහි පිහිටියේ ගෙවල් අතලොස්සකි. වස්ගමුව සිට පිටවලපතන, ලග්ගල හරහා වල්අලි පැමිණීම සහ උන්ගෙන් ගැමියන්ට හානි සිදුවීම මීට හේතුවක්ව තිබුණි. වනයේ හුදෙකලාව පිහිටි මෙම ගම්මානය තුළ එකල ගැමියන් ඉතා සාමකාමීව සිට ඇති අතර ඔවුන්ට කාලයත් සමග ඇටන්වල අාදී ගම්වලට යාමට සිදුවුණි.

මෙම ගම්මානය ලංකාවේ පිහිටි කුඩාම ගම්මානය ලෙස හඳුන්වන අතර එය ජන සංඛ්‍යාව හා භූමි ප්‍රමාණය අතින් ද කුඩාම වේ. තවදුරටත් සැලකුවහොත් මෙම ගම්මානය දකුණු ආසියාවේම කුඩා ගම්මානය ලෙස හැඳින්විය හැකිය.

ලකේගල සහ වමාරපුගල පෙනෙන අයුරු

වල්පොලමුල්ල වගේම දූවිල ඇලි දාමය පිළිබඳව අපට අසන්නට ඇති හොඳම දේ පැවසීමට ඇති හොඳම දේ දන්නා කෙනෙකු විය. ඔහු අප කාලයක් සිට හඳුනන ඒකනායක මාමා නම් විය. මීට තෙවසරකට පමණ පෙර ඒකනායක මාමාවත් ඔහුගේ කුලුඳුල් ගමන ලෙස තුන්හිස්ගලට අප සමග ආ හැටි සිහිවූයේ වල්පොළමුල්ලට ඉතා හොඳින් පෙනෙන කන්ද ඔහුට වසර ගණනාවක් යනතුරුම තරණය කිරීමට නොහැකි වූ හෙයිනි.

වල්පොළමුල්ලට තුන්හිස්ගල පෙනෙන්නේ අපූරු හැඩයකිනි. එය සමනල කන්ද ලෙස දැකගත හැකි අතර පහළ සිට ඉහළට ත්‍රිකෝණාකාර ලෙස පිහිටි මෙම තුන්හිස්ගල කන්ද සමනල කන්ද ලෙසම දැකගත හැකිවීම තවත් විශේෂත්වයකි. එලෙසම තෙල්ගමු ඔයේ ජල පෝෂකවලින් පෝෂණය වන ගම්මානයට ජලයෙන් එතරම් හිඟයක් නොතිබුණි.

“ඉස්සර ඔය ගමේ පවුල් 7-8ක් ජීවත් වුණා මහත්තයෝ. මාපා මුත්තා කියල කෙනෙක්ගෙන් පැවතෙන පවුල් කිහිපයක් තමයි එහේ ජීවත් වුණේ. ඒත් කාලයත් එක්ක එයාලගේ ළමයින්ගේ ළමයි පිටගම් ගිහින් ගම හුදෙකලා වුණා. අවුරුදු කිහිපයකට කලින් වෙනකං කපිල රත්න මාමා කියලා කෙනෙක් ජීවත් වුණා තනියම එයාගේ පවුලේ අය එක්ක. පස්සේ අලි කරදර හින්දා එයාලටත් යන්න වුණා. හෙල්මලු ක්‍රමයට එහෙ කෙත්වතු තිබුණේ. හරිම ලස්සනට දූවිලි ඇලි ඔක්කොමයි වටේට කඳු ගොන්නකුයි හොඳට පේනවා.

දැන් නම් ඔය පැත්තේ කවුරුත් යන්නෙම නැතිතරම්. ඒත් දූවිලි ඇල්ලෙ යන අය වගේම ටෙන්ට් ගහලා රැයක් අර කෙතේ ඉඳල යන්න නම් ගොඩක් කට්ටිය වල්පොළමුල්ලට එනවා. ඉස්සර අපි නිතර දොහේ ගිය පැත්තක් තමයි එ්ක. වැහි කාලෙට අර වැව ලස්සනට පිරෙනවා. මේක ලංකාවේ පුංචි ගම කියලනෙ කියන්නේ මහත්තයෝ.” ඒකනායක මාමාගේ වදන් අතර කිසියම් දුකක් තිබුණු බව අපි දුටුවෙමු.

මන්ද ඔහු පැවසූ ලෙස ඉස්සර හරි අපූරුවට තිබුණු ගමක් වන මෙය අද හුදෙකලා වූ නටඹුන් භූමියකි. දළ වශයෙන් 1871 දී නින්දගමක් ලෙස තිබූ වල්පොළමුල්ලේ එවකට පවුල් 50කට වැඩි ගණනක් සිට ඇත. පසුව එය අඩුවෙවී ගොස් වසර විසිපහක් යන්නට මත්තෙන් පවුල් 20කට පමණ පත්ව ඇත. ඉතා දිළිඳු ජීවිතයක් ගත කළ මොවුන් පරිසරය අසිරියෙන් ඉතා පොහොසත් වටපිටාවකට උරුමකම් කීවෝ වෙති.

රත්කින්ද, ඇටන්වල, පිටවල, බටදන්ඩ වල, රඹුක්ඔලුව, සුදුගලමුල කන්ද, අමුනේ හේන ආදී ගම්මාන අතර පිහිටි මෙය ලංකාවේ කුඩා ගම්මානය වී මේ වනවිට දුම්බර රක්ෂිතයෙන්ම අත්දැර දැමූ ලංකාවේ කුඩාම ගම බවට පත්ව ඇත.

කෙසේ හෝ වල්පොළමුල්ල අවට ශාක විවිධත්වය ඉතා මනරම්ය. විවිධ උරග වර්ග හා කෘමීන් ද පුෂ්පවලින් ද පිරුණ වන පියස තුළ රැහැයියන්ගේ නාදයෙන් පිරී තිබුණි. නිල් අහස යට ලංකාවේ කුඩාම ගම වන වල්පොළමුල්ලේ කාලය ගත කළ අපි නැවතත් යතුරුපැදි නවතා ඇති ඇටන්වල ග්‍රාමය වෙත යාමට සැලසුම් කළේ ඉර බසින්නට පෙර වනරොද තුළින් නික්මිය යුතු හෙයිනි.

සංචාරක සටහන හා ඡායාරූප :
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු