රන්ජන් ඇප මත නිදහස් කෙරේ..විදෙස් ගමන් තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායක ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 05 ක ශරිර ඇප දෙකක් මතයි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (04) දින අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමණායක මන්ත්‍රිවරයා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් H.U.K. පැල්පොල මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයාව මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබූ අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පෙර පුවත

අත්අඩංගුවට ගනුලැබු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

අද පස්වරුවේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණය මඟින් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවස ඊයේ දිනයේ දී කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් සෝදිසි කිරීමක් සිදුකරනු ලැබුවේය.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකෙරෙන දෘඩ තැටි හා සංයුක්ත තැටි කිහිපයක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊට අමතරව ලැප්ටොප් පරිගණකයක්, පිස්තෝල ගිනි අවියක් එම සජීවි පතරොම් 127ක් සහ සැක කටයුතුලේඛන කිහිපයක් ද මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

අදාළ දේපල සහභාණ්ඩ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රීකොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.