වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ක- 12 නමැති සැහැල්ලු ගුවන් යානයක් ගමන් ඇරැඹූයේ ඉකුත් 3 වැනි දින පෙරවරු 8.55ට පමණය.

ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා මෙම යානය පිටත්විණි.

මෙරට නැඟෙනහිර ප්‍රදේශය නිරීක්ෂණ කිරීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන්ට අණ ලැබී තිබිණි. එම නිරීක්ෂණ කටයුතු අවසන් කර නැවත ගුවන් යානය ගොඩබැස්සීමට නියමිතව තිබුණේ රත්මලාන ගුවන් හමුදා කඳවුරෙනි.

එම ගමන අදියර දෙකකින් නිම කිරීමට නියමුවන්ට අණ ලැබී තිබිණි. රත්මලානේ සිට වීරවිලටත් නැවත වීරවිල සිට යළි රත්මලානටත් පරීක්ෂණ කටයුතුවල නිරතවීම ඔවුන්ගේ එදින රාජකාරිය විය. එදින ඔවුනට නියමව තිබුණු නිරීක්ෂණ කටයුතු අතර මහ වන මැද නීති විරෝධීව පවත්වාගෙන යන ජාවාරම් පිළිබඳව තොරතුරු සොයා බැලීමද වූ බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යයෙන් රත්මලානේ සිට වීරවිල බලා යද්දී එම ගුවන් ගමන් මඟ සකසා ඇත්තේ හපුතලේ හරහා යන පරිදිය.

ඒ අනුව මෙම ගුවන් යානය මුලින්ම රත්මලාන කඳවුරෙන් පෙරවරු 7.00ට වීරවිල කඳවුර බලා පිටත්වී ඇත. පෙරවරු 7.55ට පමණ වීරවිල කඳවුර වෙත පැමිණි ගුවන් යානය පැයක පමණ කාලයක් කඳවුරේ සිට නිරීක්ෂණ මෙහෙයුම සඳහා වීරවිල කඳවුරෙන් නැවත පිටත්ව ගොස් ඇත.

මෙම නිරීක්ෂණ මෙහෙයුම සඳහා ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලඝන නායක බුද්ධි වීබැද්දය.

ඔහුගේ සහායක නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංගය.

නිරීක්ෂකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ නායක ගුවන් භට ඒ.සී. හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් ආර්. ඩබ්ලිව්. කුමාරය.

වීරවිල සිට රත්මලාන බලා නැවත පියාසර කළ ගුවන් සාමාජිකයන් සිවුදෙනාගේ ගුවන් ගමන විනාඩි විස්සකට පමණක් සීමා විය.

හදිසියේම ගුවන් ගමන් මාර්ගය වෙනස් වෙමින් සැහැල්ලු ගුවන් යානය පොළොව දෙසට ඇදෙන්නට විය.

ගුවන් යානයේ අවසන් ගමන ගුවන් යානය පොළොවට පතිත වීමට මිනිත්තු කිහිපයකට පෙර නිවෙසක සවි කර තිබූ සීසීටීවී දර්ශනවලද සටහන් විණි.

ගුවන් හමුදාව පමණක් නොව මුළු රටම කම්පා කරමින් පෙරවරු 9.15ට ගුවන් යානය හපුතලේ නගරයට යාබද පාළු ස්ථානයකට පතිත විය.

අනතුරක් දැක ගුවන් නියමුවා විසින් ගුවන් යානය ජනාකීර්ණ ප්‍රදේශ පසුකර පාළු ස්ථානයකට රැගෙන ආවාදැයි යන්න පැහැදිලි බව එම අනතුර දුටු ගම්වාසීහු පවසති.

එකපාරටම ගුවන් යානයක් අපි ඉන්න පැත්තට ආවා. ගහක අත්තකත් වැදුණා. අපි හිතුවා ගුවන් යානය ආයේ හරවලා පිටත් වෙයි කියලා. ඒත් ගුවන් යානේ දිගටම ඇවිත් බිම වැදුණා. ඒත් එක්කම විශාල පිපිරීම් හඬක් ආවා. ඒ සිද්ධිය දුටු ගම්වාසියෙකි.

හපුතලේ නගරය මෙම අනතුරින් බේරුණේ අනූ නවයෙනි. ගුවන් නියමුවාගේ දක්ෂතාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනිණි.

ගුවන් යානය පතිත වූ ස්ථානයට නුදුරින් නිවාස කිහිපයක්ද පිහිටා ඇත. ඉන් එක් නිවාසයක වීදුරු බිඳී ගොස් සුළු හානි සිදුව තිබිණි.

තවද අනතුර සිදුවූ ස්ථානයට යාබදව සිටි කාන්තාවක්ද මින් සුළු තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කෙරිණි.

අනතුරට පත් මෙම ගුවන් යානය චීනයේ නිෂ්පාදිත ගුවන් යානයකි. එහි නිෂ්පාදිත වර්ෂය 1980 දශකය දක්වා දිව යයි.

මෙම යානය ගුවන් හමුදාව විසින් නිරීක්ෂණ මෙහෙයුම් සඳහා භාවිත කරනු ලැබීය.

අනතුරෙන් පසු එම යානය ගිනිගෙන විනාශ විය. යානය තුළදීම ගුවන් හමුදා රණවිරුවන් සිවුදෙනා දිවි පිදීය.

අනතුර සිදුවීමට විනාඩි කිහිපයකට පෙර, එනම් පෙරවරු 9.02ට පමණ ප්‍රධාන නියමුවා මත්තල පිහිටි පාලන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ගුවන් යානයේ කිසිදු දෝෂයක් ඇති බවක් ඔහු එහිදීද මත්තල ගුවන් ගමන් පාලන කුලුන වෙත වාර්තා කර නැත. නමුත් අවසන් මොහොතේ නියමුවා හදිසි ගොඩබෑමකට ජන ශූන්‍ය ස්ථානයක් සොයා යමින් සිටි බව අනතුර සිදුවූ ස්ථානය අසල පිහිටි නිවෙසක සීසීටීවී කැමරා දර්ශනවලින් පැහැදිලි වෙයි.

කන්ද මතින් පහළට පියාසර කරන යානය නිවෙස් මඟහරිමින් පහතට එන ආකාරය අනුව එය නිරීක්ෂණය කරගත හැකිවූ බව පරීක්ෂණ කණ්ඩායම්වල මතය වී තිබේ.

ඒඅනුව බලන විට කිසිවකුටත් හානියක් සිදු නොවන පරිදි තමන්ගේ ජීවිත රට දැය වෙනුවෙන් කැප කරන්නට යානයේ ප්‍රධාන නියමු වීබැද්දත් සහාය නියමු කුලතුංගත් අවසන් මිනිත්තුවේදී තීරණය කරන්නට අතැයි පැහැදිලිය. එහිදී තමන්ගේ දිවි බේරා ගැනීම පසෙකලා ඔවුන් සැබෑ විරුවන් ලෙසින් සිය දිවිය කැප කරන්නට තීරණය කළා විය හැකිය.

ගුවන් ගමන් පථයේද කිසිදු වෙනසක් නැත. මේ දිනවල හපුතලේ ප්‍රදේශයේ අධික මීදුමක් පෙරවරුවේ පැවැතියද අනතුර සිදුවන මොහොත වන විට එම ප්‍රදේශයේ පැහැබර කාලගුණික තත්ත්වයක් තිබී ඇත.

අනතුර වාර්තා වීමත් සමඟම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත්කරනු ලැබීය. ගුවන් හමුදා නියමුවන්, ගුවන් හමුදා ඉන්ජිනේරුවන්, ගුවන් හමුදා වෛද්‍යවරුන් ඇතුළු සාමාජිකයන් කිහිපදෙනකු එම විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ වෙති. එම කමිටුවද විමර්ශන ආරම්භ කිරීම සඳහා හපුතලේ ප්‍රදේශයට පිටත්ව ගියහ.

ඊට අමතරව අනතුර සිදුවූ ස්ථානය පරීක්‍ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ රජයේ රස පරීක්‍ෂකවරයාද ඉකුත් 03 වැනි දින පැමිණ තිබිණි.

ඉකුත් 03 වැනි දින රාත්‍රිය වන විටත් එම අදාළ විමර්ශන කටයුතු අවසන්ව නොතිබිණි.

ගුවන් හමුදාවට අමතරව මේ සම්බන්ධයෙන් බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට, බදුල්ල දිසා භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අයි.ඩබ්ලිව්.ඩී.ආර්. කන්දෙවත්ත යන නිලධාරීන් වහා පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

අනතුරින් දිවි පිදූ ප්‍රධාන ගුවන් නියමු බුද්ධි වීබැද්ද මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. ඔහු ගුවන් පැය තුන්දහසකට අධික කාලයක් පියාසර කර ඇති ගුවන් හමුදාවේ දක්‍ෂ නිලධාරියකුද වෙයි.

ගුවන් නියමු සහයක ලෙස කටයුතු කළ ලංකාපුර කුලතුංග මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. 28 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයේ 30 වැනි කණ්ඩායමේ සාමාජිකයකුද වේ. ඔහු එළැඹෙන මාසයේ විවාහ වීමට නියමිතව තිබිණි.

නිරීක්‍ෂකයන් ලෙස කටයුතු කළ නායක ගුවන් භට හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් කුමාර ගුවන් හමුදාව වෙනුවෙන් විශාල සේවයක් කළ සෙබළුන් වේ.

කෙසේ වෙතත් මෙම ගුවන් අනතුර තවත් අබිරහසකි.

ගුවන් අනතුරට හේතු ඉදිරි විමර්ශන හරහා හෙළිවනු ඇත.

දිවි පිදූ රණවිරුවනි, ඔබට නිවන් සුව පතමි. නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා යැයි අප ප්‍රාර්ථනයයි.

චාමර අමරසූරිය

ඡායාරූප ආරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය

දෙමෝදර – චන්දික සෝමරත්න, හපුතලේ – පී. ජයන්ත