එජාපයේ සියලූම මන්ත්‍රීවරු ගිනි අවි යළි රජයට භාර දීමට තීරණය කරයි

රජය තමන් වෙත නිකුත් කර ඇති ගිනි අවි ආපසු භාර දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් සූදානම් වනවා. බලපත‍්‍රය කල් ඉකුත්වූ ගිනි අවියක් ළග තබා ගත්තේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ ප්‍රකාශ කර සිටිනවා.

රංජන් රාමනායක මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල වූවත් ඔහු අත්අඩංගුවට ගත් පටිපාටිය අනුමත කළ නොහැකි බවයි මෙහිදී ආශු මාරසිංහ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටිද සොයා ගැනුණා. එහෙත් එවැනි සංයුක්ත තැටි ළඟ තබා ගැනීමද වරදක්දැයි තමන්ට පැහැදිළි නොමැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ පැවසුවේ.

” රන්ජන රාමණායක වැඩිහිටියෙක් ඒ වගේම ඔහු නළුවෙක්. ඔහු ළඟ විවිධාකාරයේ ප්‍රකාශිත දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු ළඟ වෙනම CD සහ DVD පට ඕනෑ තරම් තිබුණා. මේකේ නිතිය මොකක් ද කියලා පැහැදිලි කර ගන්න වෙලා තියෙනවා. වැඩිහිටියන්ට පමණයි කියන චිත්‍රපට මේ රටේ තහනම්ද? එහෙනම් ඒ වැඩිහිටියන්ට පමණයි කියන චිත්‍රපට තහනම් කරනවා නම් අන්තර්ජාලය ඔස්සේ එම චිත්‍රපට නැරඹීමට නොහැකිවන අයුරින් නීති පනවන්න ඕන. එහෙම නැතුව රන්ජන් එම චිත්‍රපට අරන් ගිහින් සිනමා ශාලාවල පෙන්නුවා නෙමෙයි නේ. මමත් වැඩිහිටියෙක්, මට උනත් ඒවා බලන්න පුලුවන්. දැන් මේ වෙන්නේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙන ආකාරයේ දෙයක්” ආශු මාරසිංහ මන්ත්‍රිවරයා කියා සිටියා.