බස් රථවල අහන්න සිංදු තෝරාගත්තෙ මෙහෙමයි

උදෑසන කාර්යාලයට යන්නට හති දමාගෙන බස් රථයේ එල්ලෙන බොහෝමයක් දෙනා බස් රථයෙන් බසින්නේ රියැදුරු තැනගේ පරළොව ගිය ඥාතීන්ද සිහි කරමිනි. බස් රියට ගොඩවෙන විටම අඳෝනා තබමින් වාදනය වන කන්දොස්කිරියා සංගීතය බස්රියෙන් බැස ගත්තත්, විනාඩි කීපයක් යනතුරුම ඇතැමුන්ගේ දෙසවන්වල රැව් පිළිරැව් දෙන්නේ ඒ නිසාම උදෑසනම හිතට දැනෙන මළ පනින කෝපයත් මුසුවමය.

බස් රථයක කවුළුවක් අසල අසුන්ගෙන මිහිරි ගීතයක් රස විඳිමින් ගමනක් බිමනක් යාමට තිබේ නම් එය කොතරම් සුන්දර ගමනක් වේද? මිහිරි බව කෙසේ වෙතත් ලේ කෝප කරගෙන ඔළුව විකාරවන මහා කංකරච්චලයන් අහගෙන යන්නට වෙනවානම් සුන්දර ගමනක් යන්නට ප්‍රාර්ථනා කරන පිරිසට අත් විඳින්නට සිදුවන්නේ අසුන්දර අත්දැකීමකටමය.

පොදු ප්‍රවාහන සේවය භාවිත කරන බහුතරයක් චෝදනා නගන්නේ බස් රථවල අධික ඝෝෂාකාරී ශබ්දයෙන් වාදනය කරන ගීතවලටය. ඝෝෂාකාරී සංගීතයන් අසමින් විකාර රූප දෙස බලමින් යාමට අද බොහෝ මගීන්ට සිදු වී තිබේ. මේ නිසා බස් සංගීතය පිළිබඳව මගීන් තුළ ඇත්තේ අප්‍රසන්න හැඟීමකි. මෙය අප්‍රසන්න බව මඟහරවා ගනිමින් මගීන්ට නිදහසේ තම ගමන්බිමන්වල යෙදෙන්නට හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට වර්තමාන රජය හරි අපූරු තීරණයකට එළඹ ඇත.

ජනවාරි 15 වැනිදා සිට සියලුම මගී ප්‍රවාහන බස්රථවල ඝෝෂාකාරී ගීත වාදනය නොකළ යුතු බවට ජාතික ගමනාගමන කොමිසම පවසා තිබේ. ප්‍රවාහන කළමනාකරණ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ගමනාගමන කොමිසමේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදී අධික ශබ්දයෙන් යුතු ගීත වෙනුවට සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට කටයුතු කරන්නැයි ඇමැතිවරයා එම කොමිසමට උපදෙස් ලබා දී ඇත.

ජාතික ගමනාගමන කොමිසම විසින් සිංහල ,දෙමළ සහ මුස්ලිම් මගී ජනතාවගේ පහළොස්දාහක නියදියක් ඇසුරින් කරන ලද අධ්‍යයනයකට අනුව එකී සියලු දෙනා 100%ක්ම දැනට එම බස්රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කරන ගීත තමන්ට මහත් හිරිහැරයක් හා කන්දොස්කිරියාවක් බව ප්‍රකාශ කර තිබේ.

ජනවාරි පහළොස්වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට කටයුතු සිදුවෙන්නේ ඒ ආකාර‌​ෙයන්ය.
සුභාවිත ගීත පමණක් නොවේ මේ ව්‍යාපෘතිය මගින් මගී ජනතාවට වැදගත් වන පණිවුඩ පවා ලබා දීම සිදුවෙයි. මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳව මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ජනතාව දැනුවත් කරන වැදගත් පණිවුඩද මින් ඉදිරියට බස් රථවලින් ජනතාවට ලබාගැනීමට හැකියාව ලැබෙයි.

ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ තත්ත්ව ආරක්ෂණ අධ්‍යක්ෂිකා ශෙරින් අතුකෝරළ මහත්මිය මේ ගැන පැවසුවේ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතර ආකල්පමය වෙනසක් ඇති කිරීමට මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.
ලංකාවේ පළමු වැනි වරට මෙවැනි වැඩටසහනක් ආරම්භ කිරීම නිසා එකවරම තද නීති රීති අනුගමනය කිරීමට බලාපොරොත්තු නොවන බව ද ඇය පැවසුවාය.

අපිට අවශ්‍ය වෙන්නේ නීතියක් ගෙනල්ලා බය කරනවාට වඩා සමාජය තුළින්ම මේ පිළිබඳව යහපත් ආකල්පයක් ඇති කරවීම මේ ව්‍යාපෘතිය අපි පටන් ගන්නේ නියමු ව්‍යාපෘතියක් විදියට. ලංකාවේ පළමු වතාවට මෙහෙම දෙයක් වෙන්නෙ. අපට පැමිණිලි විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා.
බස්රථවල ඝෝෂාකාරී විදියට සංගීතමය වැඩසටහන් වාදනය කරමින් යන සිදුවීම් සම්බන්ධව ඇත්ත වශයෙන්ම මගීන්ට විශාල කරදරයක්. ඒක මේ දේවල් නිසා තමයි වත්මන් රජයත් එක්ක සාකච්ඡා කරලා අපි මේ තීරණයට පැමිණියේ. ධනාත්මක සිතුවිලි රියැදුරන්ගේ හා බස් කොන්දොස්තරවරුන්ගේ සිත තුළ ඇති කිරීම තමයි මේ ව්‍යාපෘතියෙ පළමු අරමුණ.

අධ්‍යක්ෂිකාව පවසන ආකාරයට මාස 06න් 06 ට මෙම ගීත වෙනස් වීමකට ලක් වෙයි. එක් බස් රථයකට DVD ගීත තැටි 07ක් ලබා දෙන අතර දුරගමන් සේවා යන බස් රථවලට පැය 08ක පමණ කාලයකට මෙම ගීත තැටි වාදනය කිරීමට හැකි ආකාරයට සකස් කර තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වා සිටි අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 දුරකථන අංකයට ජනවාරි මස 15 වැනිදායින් පසුවත් ඝෝෂාකාරී සංගීතය වාදනය කරමින් මගීජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට හැසිරෙන රියැදුරන් පිළිබඳව පැමිණිලි කිරීමට හැකියාව ලැබෙන බවයි.
මෝටර් රථ අඥා පනතේ මෝටර් වාහන තුළ ශබ්ද නගන උපකරණ භාවිත කළ හැකි ආකාරය පැහැදිලිවම දන්වා තිබේ. එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මගී ප්‍රවාහන අධිකාරියේ නියමයන් අනුව ඩෙසිබල් 80කට වඩා වැඩි ශබ්ද උපකරණ භාවිත කළ නොහැකි බවට කොන්​දේසි පනවා ඇත.

ඔබ විසින් ගමන් ගන්නා බස් රථය තුළ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සවිකොට තිබේ නම් සහ එම උපකරණවලින් නිකුත්වන ශබ්දය ඩෙසිබල් 80ට වඩා වැඩි නම් එයට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත.
යනුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කරන මගී අයිතීන් යටතේ දක්වා ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන කොමිසමේ හිටපු සභාපති ජනක මල්ලිකාරච්චි මහතාගේ ධුර කාලය තුළ මෙම ව්‍යාපෘතිය පිළිබඳව කටයුතු ආරම්භ කර ඇති අතර පුද්ගලයන් තිදෙනකුගෙන් යුතු කමිටුවක් ගීත තේරීම සඳහා පත් කර ඇත.

ඉන්දුනාත තේනුවර, ප්‍රගීත් විජේසූරිය සහ ප්‍රසන්න ජයනෙත්ති මෙම කමිටු සාමාජිකයන් වෙයි.

මෙහිදී අදහස් දක්වා සිටි හිටපු සභාපතිවරයා පවසා සිටියේ මාස කිහිපයක සිට මෙම කමිටුවේ සාමාජිකයන් බස් රථවල වාදනය කිරීමට උචිත ගීත තෝරා ගත් බවයි.
‘‘මේ ගීත සුභාවිතම වෙන්න ඕන කියල නෙවෙයි තෝරා ගත්තේ. සුභාවිත ගීතම අහන්න බැහැනෙ. ඒ නිසා අපි ගීත දහසක් පමණ තෝරා ගත්තා. කනට අහන් ඉන්න අපහසු නැති අලුත් පරණ කියන පරම්පරා දෙකේම ගීත. මේ පරම්පරා දෙකේම තියෙන ගුණත්මක හරවත් මියුරු ගීත තමයි මේ DVD වලට දාලා pen drive වලට දාලා බස් රථ රියැදුරන්ට ලබා දෙන්නේ.

ඔහු වැඩිදුරටත් අපත් සමගින් පවසා සිටියේ මෙම ගීතවල කර්තෘ භාගයන් ගෙවීමට ද කටයුතු කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය. කීර්ති පැස්කුවල් සහ ජයන්ත ධර්මදාස යන කලාකරුවන් කිහිපවිටකම මෙම ගීතවල කර්තෘ භාගයන් ගෙවීම් සම්බන්ධව විවිධ සංවිධාන නියෝජනය කරමින් විමසීම් කර ඇත.

ශ්‍රී ලංකා ගමනා ගමන කොමිසම මේ සම්බන්ධයෙන් තීරණය කර ඇත්තේ විවිධ කලාකරුවන්ගේ ගීත වාදනය වන වාරයක් පාසා ගෙවීම් කිරීමට අපහසු නිසා වසරකට ගෙවීම් කටයුතු සිදුකිරීමටය. ඒ අනුව ගීතයක් වසරක් තුළ වාදනය වන අවස්ථාවල අඩුවැඩි පිළිවෙළට කර්තෘ භාගය ගෙවීම් කටයුතු සිදුවේ. ජනක මල්ලිකාරච්චි මහතා පවසන්නේ ඔහු කොමිෂන් සභාවේ සභාපතිව සිටි කාලයේ මේ සියලුම කර්තව්‍යයන් සකස් කර ඇති නිසා වත්මන් පාලනාධිකරණයට ඇත්තේ ඒවා නිසි ලෙස කළමනාකරණ කරගැනීමට පමණක් බවය.

ලංකාවේ සියලු බස් හිමියන්ගේ සංගම් මේ සඳහා කොමිෂන් සභාව සමග තම එකඟතාවය පළ කර ඇත. විශේෂයෙන්ම ලංකාවේ වැඩිම බස් රථ ප්‍රමාණයකට හිමිකම් කියන මාතර පළාත් බස් සංමගමය ද මේ කටයුත්තේදී තම පූර්ණ සහයෝගය ලබා දෙන බව පවසා ති​බේ. ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ බස්රථවල සුභාවිත හෝ මොනයම් ගීයක් හෝ වාදනය නොවිය යුතු බවය. ‘‘මිනිස්සු බස්වල යන්නේ මොන මොන මානසික තත්ත්වයෙන්ද කියලා අපි දන්නෙ නෑ. ඇත්තටම බස් රථවල වාදනය කරන ගීත නිසා හොඳට ඉන්න මිනිස්සුන්ටත් මානසික ආතතියක් ඇති වෙනවා. මිනිස් කනකට අහන්න පුළුවන් ඩෙසිබල් ගාණක් තියෙනවා. ඒ ගාණට වඩා අහන් ඉන්න බෑ කිසිම කෙනෙක්ට.

අපි ඇත්තටම විරුද්ධයි. බස් රථවල ගීත වාදනය කරන එකට. පසුගිය අවුරුදු කිහිපය පුරාවටම අපි එවකට හිටපු රජයන් සමග කතා කරා මේකට නිසි නියාමනයක් ඇති කරන්න කියලා. පසුබිම් සංගීතයක් හෝ වෙනත් කනට මියුරු සංගීත ඛාණ්ඩයක් නම් වාදනය වුණාට කමක් නෑ. ’’

ඔහු පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා හමු​ වී මේ පිළිබඳව සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් නීතිමය රාමුවක් සකස් කර ගැනීමට කටයුතු කරන බවය.
මේ බස් සංගීතයේ අඬවැඩියාව මගී ජනතාවට දැනෙන ආකාරයයි.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පරණගමගේ ධම්මිකා පැවසුවේ අධික ශබ්දයෙන් ගීත වාදනය කරමින් යන බස් රථ නිසා බහින්නට වුවමනා ස්ථානයත් අමතක වී යන බවයි.
‘‘මම හැමදාම වැඩට යන්නේ බස් එකේ. බස්වල කන පැලෙන්න දාල තියෙන සින්දු නිසා සමහර වෙලාවට අපිට බහින තැනත් අමතක වෙනවා. මොකද කෑගහලා කිව්වත් වැඩක් නෑ බහින හෝල්ට් එක සින්දුවේ ශබ්දෙට ඇහෙන්නෑ ඒක. මේ ශබ්ද අඩු කරලා මිනිස්සුන්ට නිදහසේ බස් එකක යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරල දුන්නනම් වඩා හොඳයි කියල හිතෙනවා.’’
නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඉෂානි උමේෂිකා සමරසිංහ ද පැවසුවේ කන පැලෙන ශබ්දයට සින්දු දමාගෙන මගී ජනතාවට හිරිහැර වන ලෙස ධාවනය වන බස්රථවලට නියාමනයක් අත්‍යවශ්‍ය වන බවය.

‘‘සමහර හෝල්ට්වල බස් එක පැය ගාණක් නවත්තගෙන ඉන්නවා. ඒ ඉන්න අතරවාරයේ සංගීත සංදර්ශනවල වීඩියෝ දාගෙන මුළු පළාතටම කරදර වන විදියට ඇතැම් බස්රථ රියැදුරන් හැසිරෙනවා. සින්දු දාන එක වැරද්දක් නෑ. නමුත් ශබ්දය පාලනයක් නම් අත්‍යවශ්‍යයි. මම නම් කියන්නේ බස් රථවල ඝෝෂාකාරී සංගීතය නැති වන තරමටම මානසික පීඩනය නැති වෙලා යනවා. මොකද ඔය සින්දු නිසා අපි බස්වල යන්නෙ හරි පීඩනයෙන්.

නන්දසිරි වීරසිංහ ද මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මගී ප්‍රවාහන බස්රථවලට පැරණි ගීත මෙන්ම නව පරපුරේ ගායකයන්ගේ හොඳ ගී නිර්මාණ ද එක්කරගත යුතු බවය.

‘‘සින්දු විතරක් නෙවෙයි. ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හැම දෙයක්ම නියාමනය වෙනවා නම් හොඳයි. බස් එකේ ඉඳගෙන ඉන්නවා නම් මගියෙක් ඒ ඉන්න තැන ඉඳලා 100m විතර බස් එකේ දාල තියෙන සින්දුව ඇහෙනවා. ඒක මිනිස්සුන්ට හරිම කරදරයක්. මම කියන්නේ පොදු ප්‍රවාහන සේවයේ හැමෝටම පොදු වෙන පරිදි නීති රීති හදල මෙම ගැටලු නැති කරල දාන්න ඕන’’
වෙනස් විය යුත්තේ පද්ධතිය පමණක් නොවන අතර මිනිස් ආකල්ප ද වෙනස් විය යුතු බව ඔහු තවදුරටත් පැවසීය. එසේ වුවහොත් බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙන බව ද ඔහු කීවේය.

මගී ජනතාවට මෙන්ම බස් රථ රියැදුරන්ටද මෙම නව ව්‍යාපෘතිය පිළිබඳ අදහස් ඇත. මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙන ගමගේ දිනේෂ් ප්‍රබුද්ධික පෞද්ගලික බස් රථ රියැදුරු කියනුයේ සින්දු දැමීම තහනම් කරනවා නම් ගුවන් විදුලි යන්ත්‍රයෙන් දිනපතා ප්‍රචාරය වන ගීතවලට අනුව එයද තහනම් කළ යුතු බවය. තහනම් කිරීමට වඩා පාලනයක් මෙයට අවශ්‍ය බව ඔහු පැවසුවේය.

මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බස්රථ රියැදුරෙක් වන සමන් කුමාර කලුඅග්ගල පැවසුවේ, එම බස්රථවලට එන පැමිණිලි පෞද්ගලික බස්රථවලට පැමිණෙන පැමිණිලි සංඛ්‍යාවට වඩා අඩු බවය.

‘‘ඇත්තටම බස් රථවල සවි කරල තියෙන බෆල්වලින් තමයි ඔය ශබ්දය අධිකව ඇහෙන්නෙ. ඒ මගින් එන අධික ශබ්දය මගීන්ට දරාගන්න බැරි වෙනවා. මම නම් කියන්නෙ බස් රථයක සින්දුවක් දාන එක නෙමෙයි වැරැද්ද. ඒ සින්දුව කිසිම පාලනයකින් තොරව දාන එක තමයි වැරැද්ද.
සමන් පවසන්නේ රියැදුරන්ගේ වින්දනය උදෙසාම එවැනි සින්දු වාදනය නොකර යුතු බවය.

මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ තවත් බස් රථ රියැදුරෙකු වන ප්‍රදීප් සෙනරත් ගුණතිලක පැවසුවේ මාසෙකට සැරයක් හෝ මාස කිහිපයකට සැරයක් මෙම ලබාදෙන ගීත තැටි නැවත පරීක්ෂාවකට ලක්කර​න ලෙසය.

‘‘අපි උදේ හවස දැරණියගල යනවා. තව දුරගමන් වාරත් යනවා. නිදිමත ඒ නිසා එනව වැඩියි. අපිටත් ගමන අතරවාරයේ නිදිමත එනවා. කාන්සිය දැනෙනවා. ඉතින් ඒකයි ඒවාගේ දුරගමන් සේවා බස්රථවල සියලු දෙනාටම සිතටත් ගතටත් දෙකටම උද්‍යෝගයක් එන්න ගීතයක් දාන්නෙ. නමුත් ඇතැම් අය ගීත දානවා බස් එකට විතරක් නෙවේ මුළු පළාතටම ඇහෙන්න. මගීන්ට ඇත්තටම ඒක කරදරයක්. එහෙම දේවල් නියාමනය වෙනව නම් බොහොම හොඳයි.’’

යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ධම්මික රාජපක්ෂ කොන්දොස්තරවරයකු ලෙස පෞද්ගලික බස්රථයක සේවය කරයි. දුරගමන් බස් රථයකට නැගලා පැය දෙකක් තුනක් යනතුරු මගීන්ට කරන්න දෙයක් නොමැති නිසා සින්දුවක් ඇසීම ​ වරදක් ලෙස නොදකින බව ඔහු පවසයි. නමුත් ඒ ගීතවලින් ඔවුන්ට හිරහැරයක් කරදරයක් වේ නම් එවැනි ගීත බස්රථවල වාදනය නොවිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

-අරුණ පුවත්පත –