කොට්ටාවේ සිට සෑම විනාඩි 7 කට වරක්ම විදුලි දුම්රියක්.ගමන් කරන්නේ පොළොව මට්ටමින් මීටර් 10ක් උඩින්

හයිලෙවල් පාරේ ඇති අධික රථ වාහන තදබදය අවම කිරම වෙනුවෙන් නව ව්‍යාපෘතියක් රජය විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව දැනට කැළණි වැලි දුම්රිය මාර්ගය ගලවා ඉවත්කොට එම ස්ථානයේම පොළොව මට්ටමින් මීටර් 10 ක් ඉහළින් මොනෝරේල් ආකාරයේ දුම්රිය මාර්ගයක් ඉදි කිරීමටයි යෝජනා වී ඇත්තේ.

ඒ අනුව කොට්ටාවේ සිට සෑම විනාඩි 7 කට වරක්ම විදුලි දුම්රියක් ගමන් ආරම්භ කරන අතර මුල් අදියරේදී දුම් රිය 12ක් ඒ සඳහා වෙන් කෙරෙනු ඇති.

මෙම ව්‍යාපෘතිය වසර 5කින් නිම කිරීමටයි සැලසුම්කොට ඇත්තේ.කෙසේ වෙතත් ඉඩම් පවරා ගැනීම් ආදී විවිධ ප්‍රශ්න කිහිපයක් මතුව ඇති අතර යම් හෙයකින් ඉක්මනින්ම මෙම ව්‍යාපෘතිය නිමකලහොත් කොට්ටාවේ සිට කොළඹ දක්වා ඇති රථ වාහන තදබදය නැති කර ගැනීමට හැකිවෙනු ඇත.

සිළුමිණ` වාර්තාව

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල ප්‍රවාහන අර්බුදයට විසඳුම ලෙස දුම්රිය පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූයේ දශක දෙක-තුනකට ආසන්න කාලයක සිටය. අපේ රටේද නව දුම්රිය මාර්ග ඉදි කිරීම ගැන අවධානය යොමු වූයේ ඒ අනුවය. කුරුණෑගල – හබරණ නව දුම්රිය මාර්ගය හා අවිස්සාවේල්ල – හම්බන්තොට, පාණදුර – හොරණ එයින් යෝජිත දුම්රිය මාර්ග තුනකි.

– විනාඩි 7කට වරක් කොළඹ කොට්ටාව දුම්රියක්
– මෙරට පළමු පරිසර හිතකාමි දුම්රිය මඟ

අපේ රටේ අධික රථවාහන තදබදයක් ඇති හයිලෙවල් පාරට විකල්ප ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගය විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමුව ඇත. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගය මරදානේ සිට කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා දැනට පවත්නා දුම්රිය මාර්ගයට සමාන්තරව එයට ඉහළින් ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙසින් ඉදි කෙරෙනු ඇත.

එතැන් සිට දැනට පවත්නා දුම්රිය මාර්ගයම ද්විත්ව මාර්ගයක් ලෙස පාදුක්ක දක්වා පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ. පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා මාර්ගයද පූර්ණ ලෙස සංවර්ධනය කෙරේ. ඒ දැනට පවත්වා මාර්ගයම වන අතර එහිදී තනි මාර්ගයක් ලෙස පමණක් ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇත.

මරදාන සිට අවිස්සාවේල්ල දක්වා සමස්ත දුම්රිය පද්ධතියම විදුලි දුම්රිය සේවාවක් ලෙස ස්ථාපිත කෙරේ. මේ නවීකරණ හා සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ වසර 2035 දක්වා වන මඟී අවශ්‍යතා සැලකිල්ලට ගෙන වන අතර වසර 2035 වන තුරු අලුතින් කිසිදු නවීකරණයක් සිදු නොකෙරෙන පරිදි මේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු සිදු කෙරෙනු ඇත.

ආරම්භයේදී කොළඹ සිට නුගේගොඩ දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ගුවන් දුම්රිය මාර්ගය ඉදි කෙරෙන අතර නුගේගොඩ සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය කෙරෙනු ඇත.

කැලණිවැලි ගුවන් දුම්රිය මාර්ගය ඉදි කෙරෙන්නේ කාර්යාල බහුල වේලාවන්හිදී පැය 4ක් (පෙරවරු 7 සිට 9.00 දක්වා හා පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වා) විනාඩි 7කට එක් පැත්තකට දුම්රියක් ධාවනය වන පරිදිය. ඒ සඳහා විදුලි දුම්රිය 21ක් ආනයනය කෙරෙනු ඇත. මේ විදුලි දුම්රියයන්ගේ විශේෂත්වය වන්නේ සිංගප්පූරුව තායිලන්තය වැනි රටවල මෙට්රෝ දුම්රිය මෙන් ධාවනය වන නමුත් මේ දුම්රියයන්ට මැදිරි 10ක් 12ක් වැනි විශාල සංඛ්‍යාවක් අමුණා ධාවනය කළ හැකි වීමයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ සංවර්ධණ ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දෙනු ඇත. සමස්ත ව්‍යාපෘතියම වසර 5ක් තුළදී සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු නිම කිරීමටද පියවර ගැනෙනු ඇත. මේ යටතේ දැනට පවත්නා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගුවන් දුම්රිය මාර්ගයක් ඉඳි කෙරෙන අතර පවත්වා දුම්රිය මාර්ගය සේවා මාර්ගයක් ලෙසින් භාවිත කෙරෙනු ඇත. මීටර් 5.2ක ඉහළින් නව ගුවන් දුම්රිය මාර්ගය ඉඳි කෙරෙන අතර දුම්රිය ධාවනය කෙරෙන්නේ තවත් මීටර් 5ක් ඉහළිනි. ඒ අනුව බිම් මට්ටමේ සිට මීටර් 10ක් ඉහළින් දුම්රිය මාර්ගය ඉදි කෙරේ. කැලණිවැලි දුම්රිය මඟීන්ගේ පහසුව තකා සේවා මාර්ගය (දැනට භාවිත කෙරෙන දුම්රිය මාර්ගය) උදැසන හා සවස් කාලයේ කාර්යාල බස් රථ සේවාවන් සඳහා ලබා දීමටද යෝජිතය.

එහෙත් මේ ව්‍යාපෘතියේ බරපතළකම ලෙසින් මතුව ඇත්තේ නාගරික මෙන්ම අධික ජනාවාස හරහා ගමන් කිරීමයි. මෙරට අධිවේගී මාර්ග ඇතුළු බොහෝ සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරුණේ ජනතාව අඩු වශයෙන් පදිංචි ස්ථාන හරහා වන නමුත් මේ ව්‍යාපෘතිය අධික ජන ඝනත්වයක් සහිත නගර හරහා ස්ථාපිත කිරීමට යෝජිත හෙයින් විශාල ලෙසින් සමාජ ගැටලු මතු වීමට ඉඩ ඇත. ඒ තත්ත්වය දැඩි ලෙසින් ආසියානු සංවර්ධන බැංකුව විසින් අවධානය යොමු කර ඇත. එම නිසා එම ගැටලු නිරාකරණය කර ගැනීම පළමුව සිදු කළ යුතුය. ඒ සදහා මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව නව නිවාස 1248ක් පදිංචිකරුවන් වෙනුවෙන් ඉදි කිරීමට කටයුතු කර තිබේ. ඒ හරහා සමාජ හා සංස්කෘතික ගැටලුවට විසදුමක් ලබා දීමට බලාපොරොත්තු වේ.

එසේම මේ ගුවන් දුම්රිය මාර්ගය මෙරට පරිසර හිතකාමී පළමු දුම්රිය මාර්ගය ලෙසින්ද හදුන්වා ඇත. ඒ අනුව පරිසර හිතකාමී ලෙසින් අධික ශබ්දය මෙන්ම කම්පනවලින් සිදු වන පීඩාවලින් තොරව මේ මාර්ගය ස්ථාපිත කෙරෙන අතර මාර්ගය ඉදි කිරීමේදී වුවද භූගත කුලුනු බැස්සවීමේදීද ඉහළින් දැඩි පහර එල්ල කරමින් කුලුනු ගිලා බැස්සවීම් සිදු නොකෙරේ. ඒ සදහා නවීන තාක්ෂණය භාවිත කරමින් පොළොව තුළට බැස්සවීම් සිදු කෙරෙනු ඇත.

එසේම මාර්ගය ඉදි කිරීමෙන් පසුව දුම්රිය ධාවනයේදී ඇති වන ශබ්දය හා කම්පනයන් සම්බන්ධයෙන්ද මේ වන විට පුළුල් අන්තර්ජාතික මට්ටමින් යුක්තව කටයුතු කර තිබේ. ඒ සදහා දුම්රිය මග දෙපසින් මීටර් 50ක් දක්වා දුරකට ඇති ගොඩනැගිලි කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.

ඒ අනුව මේ මාර්ගය දෙපස ඇති පාසල් රෝහල් වැනි සංවේදී ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර සෙසු මහල් ගොඩනැගිලි මෙන්ම නිවාස කෙරෙහිද විශේෂ අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම මේ මාර්ගය අවට පිහිටි සියලු ගොඩනැගිලිවල උස මේ වන විටත් ලබා ගෙන ඇති අතර ඒ උසට අනුව අති විය හැක් ශබ්දය පිළිබව මේ වන විටත් අධ්‍යයනය කර ඇත.

ඒ අධ්‍යයනයට අනුව අදාළ වන පරිදි ශබ්දය හා කම්පනයට ඔරොත්තු දෙන පරිදි සෙන්ටිමීටර් 25ක කොන්ක්‍රීට් තාප්පයක් (SOUND BARRIER) දුම්රිය මඟ දෙපසින් ඉදි කෙරෙනු ඇත. ඇතැම් විට එය මීටරයක් දක්වා ඉහළ යෑමට පුළුවන. ඒ අදාළ ප්‍රදේශවල නිකුත්වන ශබ්දය හා කම්පන සැලකිල්ලට ගනිමිනි.

ශ්‍රී ලංකාවේ කම්පනය මැන බැලීමේ අන්තර්ජාතික ක්‍රමවේදයක් අනුව නීති පද්ධතියක් නොමැති වුවත් කම්පන කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර තිබීම පැසසිය යුතුය.

නව දුම්රිය මාර්ගය ඉදි කිරීමත් සමග දැනට පවත්නා දුම්රිය ස්ථාන කිහිපයක පිහිටීම් වෙනස් වනු ඇත. ඒ අතුරින් කෝට්ටෙ පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන සැලකිය යුතු ලෙසින් දුරස් වනු ඇත. නාරාහේන්පිට දුම්රිය ස්ථානය නාරාහේන්පිට හන්දියේ (නාවල පාර) ස්ථාපිත වනු ඇත. එමෙන්ම පැඟිරිවත්ත පන්නිපිටිය හෝමාගම රෝහල පාර යන දුම්රිය ස්ථාන 3හිද පිහිටීම් සුළු වශයෙන් වෙනස් වනු ඇත. ඒ මඟී ජනතාවගේ පහසුව තකාය.

එමෙන්ම ගොල්ෆ් ක්‍රීඩාංගණය අසල මාතා පාර හා කොට්ටාව දඹහේන නව දුම්රිය ස්ථාන දෙකක්ද ඉදි කෙරෙනු ඇත.

මේ මාර්ගය සඳහාම විශේෂිත වූ වර්ණ සංඥා පද්ධතියක් යෙදවීමට කටයුතු කෙරෙන අතර මේ දුම්රිය මාර්ගයට ඉහළින් එනම් පොළොව මට්ටමට මීටර් 15ක් පමණ ඉහළින් යෝජිත සැහැල්ලු දුම්රිය සේවාවද ක්‍රියාත්මක වනු ඇත.

දුම්රිය ස්ථාන ආසන්න ලෙසින් පිහිටීම නිසා අධික වේගයකින් මේ මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි වන නමුත් පැයට කිලෝමීටර් 60ක් හෝ ඊට වැඩි වේගයකින් මේ මාර්ගයේ ධාවනයට ඇණවුම් කෙරෙන දුම්රියයන්ගේ පහසුකම් ඇත. එසේම අවශ්‍ය පරිදි ක්‍රමයෙන් මැදිරි වැඩි කළ හැකි බවක්ද මේ විදුලි දුම්රියයන් සතුවිම අප වැනි රටකට අවශ්‍යම වන්නේ වැඩිවන මඟී සංඛ්‍යාව අනුව ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කළ යුතු බැවිනි

ඉතා කළබලකාරී පරිසරයකින් යුක්ත ලෙසින් සැලකෙන කැලණිවැලි දුම්රිය මාර්ග දෙපස භූමි ප්‍රදේශය හා අවට ප්‍රදේශ පරිසර හිතකාමී ලෙසින් සංවර්ධනය කෙරෙමින් සිදු කෙරෙන මේ නවීන සමාජගත මෙන්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංචාරක ව්‍යාපාරයටද නව මං පෙත් එළි දකිනු ඇත.

නාගරික මඟී තදබදයට ශ්‍රී ලංකාව වැනි රටකට කළ හැකි එකම විසඳුම වන්නේ මෙවන් ගුවන් දුම්රිය මාර්ග හරහා සේවාව සැලසීමයි. නාගරිකව නව මං පෙත් ඉදි කිරීමට භූමි භාග නොවීම ඊට හේතුවයි. පමා වී හෝ ගත් මේ සැලසුම නිසා රට ඉක්මන් සංවර්ධනයක් කරා ගමන් කරනු ඇත