ශ්‍රී ලංකාවේ හොඳම ගුරුවරයාට අද අත්ව ඇති ඉරණම (VIDEO)

දරුවන් වෙනුවෙන් අසීමාන්තික කැපකිරීම් කරන පාසල් ගුරුවරුන් පිළිබඳ නිදර්ශන අප සමාජයේ සුලබව හමුවෙයි.

එහෙත් ඇතැම් විට එම ගුරුවරුන්ට සිය ජීවිතයේ මූලික අවශ්‍යතා පවා සපුරාගැනීමට තරම් අවස්ථාවක් නොලැබීම කණාගාටුවට කරුණක්.

මේ පුවත එවැනි ගුරු තරුවක් පිළිබඳවයි.

31 හැවිරිදි අසිත් මුතුකුමාරණ පුත්තලම දළුව ශාන්ත අන්තෝනි විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ගුරුවරයායි.

මේ ඔහුගේ දුෂ්කර පාසල් සේවයේ 06වන වසරයි.

ඔහු වඩාත් අවධානයට පාත්‍ර වන්නේ 2018 වසරේ ලෝකගුරු සමුළුව මගින් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගුරු තරුවට හිමි සම්මානයට හිමිකම් කීම හේතුවෙන්.

එමෙන්ම වසරේ හොඳම රාජ්‍ය සේවකයින් 10 දෙනා අතරටද ඔහු එක්වන්නේ වෘත්තියට සීමා නොවූ ඔහුගේ කැපකිරීම් නිසයි.

අසිත් මුතුකුමාරණ මහතා පවසා සිටියේ, බොහෝ මිනිසුන් රාජ්‍ය සේවකයින්ට බොහෝ දේ කර ගත හැකි බව පවසන නමුත් ඔවුන්ගේ ඇතුළාන්තය බොහෝ සෙයින් වෙනස් බවයි.

කල්පිටිය යනු බොහෝ සෙයින් දුෂ්කර ගම්මානයක් බවත්, තමා මෙතක් සිදු කරනු ලැබුවේ සමස්ත ලංකා ජයග්‍රහණ උදෙසා ළමුන් වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කිරීම බවත් ඔහු අපට පැවසීය.

සල්ලි හොයා ගන්න අමතර පන්ති කළත් බොහෝ වේලාවට එන්නේ අසරණ ළමයි බවද පැවසු අසිත් මහතා, සමහර දිනක ඔවුන් වෙනුවෙන් නොමිලේ පන්ති පවත්වා පාරාටා දෙකක් කාලා ජීවිත් වු අවස්ථා ඇති බවත් කියා සිටියේය.

පුත්තලමේ සිට දරුවන් ඉගෙන ගන්න ගෙදරට එන බවත් ඔවුන් බොහෝ විට ඉගෙනීම් කටයුතු කරනු ලබන්නේ කුප්පි ලාම්පු එළියෙන් බවත් අසිත් මහතා පැවසීය.

පාසල් සිසුදරුවන්ගේ නැණස පෑදීම සඳහා ඔහු විසින් වැය කරන ශ්‍රමය හා කාලය හමුවේ ඔහුට ජීවත්වීමට අවශ්‍ය නිවසක් පවා තනා ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු අද වනවිට ජීවත් වන්නේ ඔහුට වෙත් අයෙකු විසින් ලබාදුන් කුරුණෑගල කනෝටුව ප්‍රදේශයේ පිහිටි තාවකාලික නිවසකයි.

මාස දෙකක් වැනි කාලයක් තුළ එම නිවස ද නැවත බාර දීමට සිදුව ඇතැයි පැවසු ඒ මහතා හැකිනම් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ නිවාස අධිකාරියේ බලධාරීන්ට තමාට පිළිසරණක් වෙන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙවැනි විශිෂ්ට රාජ්‍ය සේවකයෙකුට අත්ව ඇති ඉරණම පිළිබඳව ඇගේ මවද පසුවන්නේ දැඩි කණගාටුවකින්.

ඇය පවසා සිටියේ ගුරුවරයෙක් වුවත් තම පුතා දෙමව්පියන් වෙනුවෙන් බොහෝ දුක් විඳින බවත් හැකිනම් ඉන්න තැනක් හදා ගන්න උදව් කරන ලෙසත්ය.

එවන් ගුරුවරයෙක්ට පිළිසරණක් වෙන්න ඔබටත් අවස්ථාව හිමිව තිබේ.

අසිත් මුතුකුමාරණ – 0717604525

Ada Derana